ISIS අරමුණ ඉටු කර ගැනීමට ඉඩ දෙන්න එපා – ඇමති සජිත්

(කොළඹ, ලංකාපුවත්) –මේ මොහොතේ රට තුළ ජාතිවාදී සහ ආගම්වාදී කැරළි කෝලහල ඇති කිරීමෙන් සිදුවන්නේ රට විනාශ කිරීමේ ISIS ත්‍රස්තවාදීන්ගේ අරමුණ ඉටු කර ගැනීමට උපකාර වීම බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ ISIS ත්‍රස්තවාදීන්ගේ අරමුණ රටවල් කිහිපයක් තුළ සරියා නීතිය සහිත තම කලාපයක් නිර්මාණය කර ‘කැලිෆෙට් රාජ්‍යයක්’ බිහි කිරීම බවද අමාත්‍යවරයා පැවසීය.

ත්‍රස්තවාදීන් තම අරමුණ කරා යන්නේ සියදිවි නසා ගැනීමේ බෝම්බ ප්‍රහාර එල්ල කිරීමෙන් පමණක් නොව රටතුළ ජාති – ආගම් භේද,කැරළි – කෝලාහල ඇති කර රට ගිනි තැබීමෙන්ද ඔවුන් සිය අරමුණ ඉටු කර ගැනීමට උත්සාහ කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

පසුගිය දිනවලදී ලෝකයේ රටවල් කිහිපයකම ඉස්ලාම් පල්ලි වලට බෝම්බ ප්‍රහාර එල්ල කර ජාතීන් අතර කැරළි – කෝලහාල ඇති කිරීමට ISIS ත්‍රස්තවාදීන් කටයුතු කළ බවත්, ඒ හරහා ඔවුන් සුදානම් වන්නේ ‘සරියා නීතිය’ සහිත කලාපයක් සහ ‘කැලිෆෙට් රාජ්‍යයක්’ බිහි කර ගැනීමට උත්සාහ කිරීම බවත් අමාත්‍යවරයා පැවසීය.

බොරු ප්‍රචාර වලට හසුවී කැරළි -කෝලහල ඇතිකර ISIS ගෝලීය ත්‍රස්තවාදීන්ගේ අරමුණ ඉටු කිරීමට රටේ ජනතාව සහාය ලබා දෙනවාද කියා තීන්දු කළ යුතු බව පැවැසූ අමාත්‍යවරයා මෙරට ත්‍රස්තවාදය සහමුලින්ම උපුටා දැමීමට නම් ජාතී, ආගම්, පක්ෂ, පාට භේදයකින් තොරව සියලු දෙනා එකට එක්ව කටයුතු කළ යුතු බවත් පැවැසීය.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේරුපියල් ලක්ෂ 7,000 ක වියදමින් ඉදිකෙරෙන හම්බන්තොට දිස්ත්‍රික්කයේ, තිස්සමහාරාම, වීරවිල, තරුණ මධ්‍යස්ථානයසඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට අද (13) සහභාගී වෙමිණි.

වීරවිල පැවැති 2019 යෞවුන් පුර වැඩසටහටනේදී සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා කළ ඉල්ලීම පරිදි ජාතික, ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්තාපන උතුරු පළාත් සංවර්ධන, වෘත්තිය පුහුණු හා නිපුනතා සංවර්ධන, වෘත්තිය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත මෙම තරුණ මධ්‍යස්ථානය ඉදිකෙරේ. ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව විසින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලබයි.

ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ එරංග වැලිඅංගේ මහතා ඇතුලු රාජ්‍ය නිලධාරීන්, ප්‍රදේශවාසීන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *