ඉන්දියාවේ IS සැකකරුවන් 03ක් අදීල් සමඟ සම්බන්ධතා පවත්වලා

(කොළඹ, ලංකාපුවත්) – පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවේ මරාගෙන බෝම්බකරුවන්ට තාක්ෂණික සහය ලබාදුන් බවට අත්අඩංගුවට ගෙන සිටින අදීල් අමීස් නැමැත්තා ඉන්දීය අත්අඩංගුවේ පසුවන අයි.එස්. සැකකරුවන් තිදෙනෙකු සමඟ සබඳතා පවත්වා ඇති බවට හින්දු පුවත්පත වාර්තා කරයි.

මෘදුකාංග ඉංජිනේරුවරයෙකු වන 24 හැවිරිදි අදීල් අමීස් බ්‍රිතාන්‍යයේ විශ්වවිද්‍යාල කිහිපයක උසස් අධ්‍යාපනය හැදැරූ අයෙකි. මෙම සැකකරුව ආරක්ෂක අංශ විසින් පසුගිය අප්‍රේල් මාසයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙම සැකකරු 2015 සහ 2017 යන වසරවල දී ඉන්දීය ආරක්ෂක අංශ විසින් අයි.එස්. සංවිධානයට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් තිදෙනෙකු සමඟ සබඳතා පවත්වා ඇති බවට අනාවරණය වී ඇත.

වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ එම සබඳතා පවත්වාගෙන ගොස් ඇති නමුත් වෙනත් ආකාරයකින් ඔවුන් අතර සබදතාවක් පැවතියේ ද යන්න පිළිබඳ තොරතුරු අනාවරණය වී නොමැති බව ඉන්දීය ආරක්ෂක අංශ ප්‍රකාශ කර තිබේ.

මේ හේතුවෙන් අදීල් අමීස් සම්බන්ධයෙන් ඉන්දීය බුද්ධි අංශ මීට වසර 3 කට පමණ පෙර විමර්ශන සිදුකර තිබූ බව ද සදහන් වේ.

එසේම 2015 වසරේ දී සුඩානයෙන් පිටුවහල් කරන ලද අයි එස් සැකකරුවෙක් වන මොහොමඩ් නසර් සමගින් ද අදීල් අමීස් සබඳතා පැවැත්වූ බවට තොරතුරු දැක්වේ.

කෙසේ නමුත් ඉන්දියානු බලධාරීන් මෙම තොරතුරු ශ්‍රී ලංකා බලධාරීන් සමඟ හුවමාරු කර ගත්තේ ද යන්න පැහැදිලි නොමැති බව හින්දු පුවත්පත වැඩිදුරටත් වාර්තා කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *