IDA වෙතින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 70 ක්

(කොළඹ, ලංකාපුවත්) –ප්‍රාදේශීය සංවර්ධන සහායක ව්‍යාපෘතිය (LDSP) සඳහා ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය (IDA) වෙතින් ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 70 ක ණය මුදලක් ලබා ගැනේ.

මෙම ව්‍යාපෘතියෙහි සංවර්ධන ඉලක්කය වනුයේ වගකීමෙන් හා වගවිය යුතු ආකාරයෙන් ප්‍රජාව වෙත සේවා සැපයීම සඳහා ප්‍රාදේශීය සැලසුම් පද්ධති ශක්තිමත් කිරීම, ප්‍රාදේශීය සේවා වැඩිදියුණු කිරීම හා ආර්ථික යටිතල පහසුකම් හා ආයතනික සංවර්ධනය තුළින් අදාළ පළාත් තුළ ආර්ථික සංවර්ධනයට සහාය වීම තුළින් පළාත් පාලන ආයතන සවිබල ගන්වමින් පළාත්වල ආර්ථික හා යටිතල පහසුකම් සංවර්ධනයට සහාය වීමයි.

මෙම ව්‍යාපෘතිය සඳහා මුළු ඇස්තමේන්තුගත පිරිවැය ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 100ක් වන අතර එයින් ඇමරිකානු ඩොලර් මිලියන 70ක මුදල ජාත්‍යන්තර සංවර්ධන සමායතනය වෙතින්ද රජය වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 7ක් හා ඉතිරිය යුරෝපා සංගමය වෙතින් ප්‍රධානයක් ලෙසද ලබා ගනු ලැබේ.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ සමස්ථ වගකීම පළාත් සභා, පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍යාංශය වෙත පැවරෙන අතර උතුරු, නැගෙනහිර, උතුරු මැද හා ඌව යන පළාත්වල පළාත් පාලන ආයතන 134 ක් ආවරණය වන පරිදි, මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඉහත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකුවේ අන්තර්ජාතික සංවර්ධන ආයතනය (IDA) විසින් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන‍ 70 ක ණය පහසුකමක් ලබා දීමටඑකඟතාවය පළකර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *