රාජ්‍ය වෙසක් උළෙල ජනපති-අගමැති ප්‍රධානත්වයෙන් රත්පත් විහාරයේදී

(කොළඹ, ලංකාපුවත්) – මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මේ මස 17 සහ 18 යන දිනවල මහත් උත්සවාකාරයෙන් තෙල්වත්ත පුරාණ තොටගමු රත්පත් රජමහා විහාරස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

17 දින පස්වරුවේ මේ වෙනුවෙන් සංවිධානය කොට තිබෙන උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ මහා සංඝරත්නයේ මෙන්ම රාජ්‍ය මැති ඇමැතිවරුන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙයි.

මෙම විහාරස්ථානයේ ඉදිරිපිට ඉදි කොට තිබෙන සමරු ඵලකය ජනාධිපතිවරයා අතින් නිරාවරණය කිරීමෙන් පසු උත්සව කටයුතු ආරම්භ කෙරේ. මෙම විහාරස්ථානය පූජා භූමියක් ලෙස නම් කොට එහි ඔප්පුව ජනාධිපතිවරයා විසින් මහා සංඝරත්නය වෙත භාර ‍දීමටත් තෝරාගත් ප්‍රදේශයේ විහාරස්ථාන රාශියක් සංවර්ධනය කිරීමට හා දහම් පාසල්වල අඩුපාඩු සම්පූර්ණ කිරීමට මුදල් ප්‍රතිදාන පිරි නැමීමත් ජනාධිපතිවරයා අතින් සිදු වෙයි.

රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් තැපැල් දෙපාර්තමේන්තුව මගින් මෙදින සමරු මුද්සර තුනක් නිකුත් කිරීමද මෙදින සිදු කිරීමට නියමිතය. මෙම උත්සව අවස්ථාවට මහා සංඝරත්නය අමතරව බුද්ධ ශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා, සවදේශ කටයුතු හා පළාත් පාලන ,පළාත් සභා සහ අභ්‍යන්තර කටයුතු පිළබද ඇමැති වජිර අබේවර්ධන, ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරන ඇමැති ගයන්ත කරුණාතිලක, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ දකුණු පළාත් හිටපු මන්ත්‍රීවරුන් වන සංජීව් කරුණාතිල, අශෝක ධනවංශ සිල්වා සහ උසස් රාජළ්‍ය නිලධාරීන් රැසක් සහභාගීවීමට නියමිතය.

18 දින සිල් සමාදන්වීම්, ධර්ම දේශනා සහ බෝධි පූජා වැනි ආගමික කටයුතු රැසක් මෙම විහාරස්ථානයේදී පැවැත්වෙන අතර ඊට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගීවීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *