පවතින කාලගුණ තත්ත්වය සමඟ ඩෙංගු රෝගීන්ගේ ඉහළයාමක්

(කොළඹ, ලංකාපුවත්) – පවතින කාලගුණ තත්ත්වය සමඟ දිස්ත්‍රික්ක කිහිපයක ඩෙංගු රෝගීන් වාර්තා වීමේ ඉහළ යාමක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

මේ තත්ත්වය සලකා බලා ඩෙංගු වසංගත තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමේ අරමුණෙන් විශේෂ ක්ෂේත්‍ර වැඩසටහනක් පසුගිය 8 වැනිදා සිට 10 වැනිදා දක්වා ක්‍රියාවට නංවනු ලැබීය. දිස්ත්‍රික්ක 15ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 70ක් ආවරණය වන පරිදි මෙය ක්‍රියාත්මක කෙරුණු අතර ජනාධිපති කාර්ය සාධක බලකාය හා ජාතික ඩෙංගු මර්දන ඒකකය මෙය සංවිධාන කළේය. මදුරුවන් බෝවීමට හැකියාව ඇති අවදානම් ස්ථාන වැඩිම සංඛ්‍යාවක් හමුවූයේ යාපනය, කුරුණෑගල, කෑගල්ල දිස්ත්‍රික්කවලිනි. පාසල්, අගමික ස්ථාන, කර්මාන්ත ශාලා හා ඉදිකිරීම් පරිශ්‍රවල මදුරු කීටයන් බහුලව සිටි බව එහිදී සොයාගනු ලැබීය.

මේ තත්ත්වය අවමකර ගැනීම සඳහා අදාළ ආයතනවල බලධාරීන් මෙන්ම ප්‍රජාවද කඩිනමින් ක්‍රියාත්මක විය යුතු බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දෙයි. ඕනෑම පරිසරයක ඩෙංගු මදුරුවන් බෝවීමේ අවදානමක් ඇති බැවින් සතියකට විනාඩි 30ක් මේ පිළිබඳ විපරම් කොට මදුරුවන් බෝවිය හැකි ස්ථාන ඉවත්කර ගන්නා ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. තද උණ සමඟ හිසරදය, මස්පිඩු හා සන්ධි වේදනාව, ඔක්කාරය, වමනය, සමේ රතු පැහැති ලප හටගැනීම මෙන්ම රුධිර වහන තත්ත්වයක් ඇත්නම් වහාම රෝහලකට ඇතුළත්ව නිසි වෛද්‍ය ප්‍රතිකාරවලට යොමුවන ලෙසට ඉල්ලීමක් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *