යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ 38කට උසස්වීම්

(කොළඹ, ලංකාපුවත්) –ජාතික රණවිරු දිනයට (19) සමගාමීව සන්නද්ධ හමුදා සේනාධිනායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් විසින් ආරක්‍ෂක අමාත්‍යාංශයේ හා යුද්ධ හමුදාධිපතිතුමාන්ගේ නිර්දේශය මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරීන් 38 දෙනෙකුට උසස්වීම් ලබා දී තිබේ.

ඒ අනූව ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ කර්නල්වරුන් දෙදෙනෙකු බ්‍රිගේඩියර් නිලයට සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ ලුතිනන් කර්නල්වරුන් 7 දෙනෙකු කර්නල් නිලයට මෙන්ම නිත්‍ය බලසේනාවේ ලුතිනන් කර්නල්වරුන් 29 දෙනෙකු කර්නල් නිලයට උසස්කර ඇති බව යුද්ධ හමුදා මූලස්ථානයේ යුද සේවා ලේකම් කාර්යාලය ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව, නිත්‍ය බලසේනාවේ ලුතිනන් කර්නල්වරුන් 29 දෙනාට 2019 මාර්තු මස 27 වන දින සිට බලපැවැත්වෙන පරිදි කර්නල් නිලයට උසස් කර ඇත. එමෙන්ම, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් නිලයට උසස්වීම් ලැබූ එක් කර්නල්වරයෙකු 2019 මාර්තු මස 21 වන දින සිට ද අනෙක් උසස්වීම් ලැබු කර්නල්වරයා 2019 අප්‍රේල් මස 21 වන දින සිට බලපැවැත්වෙන පරිදි ද ඊළඟ නිලයට උසස් කර ඇත.

එමෙන්ම, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ ලුතිනන් කර්නල්වරුන් 7 දෙනා 2019 මාර්තු මස 21 වන දින සිට බලපැවැත්වෙන පරිදි කර්නල් නිලයට උසස් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *