වෛරයේ ගිනි නිවා සියලු දෙනා සුවපත් කිරීමට පියවර ගනිමු – කොළඹ අගරදගුරු හිමි

(කොළඹ, ලංකාපුවත්) –බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුද්ධත්වයට පත්වීම සහ පිරිනිවන්පෑම යන තෙමඟුල සමරණ අති පූජනීය වෙසක් පුර පසළොස්වක පොහෝ දින සමස්ත සැදැහැවත් බොදුණු ජනතාව වෙත මගේ ශුභාශිංසන පළ කරන්නේ ඉමහත් සෙනෙහසින් බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ කියති.

උන්වහන්සේගේ එම පණිවිඩයෙන් මෙසේද පවසයි. තවද මා එසේ කරන්නේ මානව වාර්ගයා කෙරෙහි පමණක් නොව සියලු සත්වයා කෙරෙහි ද මෛත්‍රිය පෑමට මනුෂ්‍යයාට කියාදෙන උතුම් බෞද්ධ ජීවන දර්ශනය කෙරේ පෞද්ගලිකවම මා තුළ ඇති විශේෂ ගෞරවය පෙ‍රදැරිවය.

වසර 2500කටත් වැඩි කාලයක් තිස්සේ මෙරට ජන විඥානයත් ආගමික සභ්‍යත්වයත් පෝෂණය වූයේ බෞද්ධ චින්තනයෙන් බව නොරහසකි. තවද එය මේ රටේ උපන් බොදුණු සහෝදර සහෝදරියන්ගේ පමණක් නොව අප සැමගේ ද පොදු උරුමය අප අදහන ආගම කුමක් වුවත් ඒ හැම ආගමකටම බොදු දහම සරු පසකි. එය එසේ වන්නේ කිතු දහම ඇතුළු ලොව ප්‍රධාන ආගම් සියල්ලේම පදනම ප්‍රේමය හෙවත් මෛත්‍රිය වන නිසාය. ක්‍රිස්තුන් වහන්සේ අපට උගන්වන්නේ දෙවියන් වහන්සේ යනු ප්‍රේමයය (1 ජුවාම් 4.8) කියාය.

විශේෂයෙන් ම මේ වසරේ අපට වෙසක් උත්සවය සමරන්නට සිදුවී ඇත්තේ වෙනදාටත් වඩා අපේ ආගමික පැවැත්ම පරීක්ෂාවට ලක්වන සමයකය. වෛරය ආගම කරගත් ත්‍රස්තවාදය අද ප්‍රේමයේ ආගම් සියල්ලටම බලවත් අභියෝගයක්ව ඇත. එහෙත් බද්ධ වෛරය සහ ප්‍රචණ්ඩත්වය පරාජය කිරීමට හැක්කේ මෛත්‍රියට පමණි. එය අප අදහන සෑම ආගමක් ම අපට උගන්වන පරම සත්‍යයි. එබැවින් එය අප අධ්‍යාත්මික පැවැත්මේ කේන්ද්‍රය කර ගැනීමට වෙර දරමු. වෛරයේ ගිනි නිවා සියල්ලන් සුවපත් කර උතුම් වූ දැහැමියාවකට පියවර නගමු. ඔබ සැමට සුපින්බර වෙසක් මංගල්‍යයක් වේවායි ඉත සිතින් පතමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *