වෛරයේ අන්ධකාරය දුරුවී සමඟිය, ප්‍රබෝධය පිරි නවයුගයක් බිහිවේවා – විපක්‍ෂ නායක

(කොළඹ, ලංකාපුවත්) – වෙසක් දිනයේ වෛරයේ අන්ධකාරය දුරුවී, සමඟිය, සන්තුෂ්ඨිය සහ ප්‍රබෝධය පිරි නවයුගයක් බිහිවේවා යැයි ප්‍රාර්ථනා කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

අදට (18) යෙදෙන වෙසක් මංගල්‍යය වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා මේ බව පවසයි.

වෙසක් යනු බෞද්ධයාගේ දින දර්ශනයේ එන අතිශයින්ම වැදගත් පූජනීයම දිනයයි. ලොව පුරා බෞද්ධයෝ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම සහ පිරිනිවන් පෑම මෙදින මහත් බැතිබර හදවතකින් යුතුව මෙනෙහි කරති.

මේ පණිවිඩය ලියන මේ අවස්ථාවේදී පාස්කු ඉරුදින ත්‍රස්තවාදී ප්‍රහාරය සිදුවී මසක්වත් ගෙවී අවසන්වී නොමැත. මෙයට මුහුණපෑ සියල්ලන්ගේ කඳුළු තවමත් සිඳීගොස් නැත. තුවාල තවමත් සුව වී නැත. මුළුමහත් ජාතියක් හැඬවූ මේ ප්‍රහාරය ශ්‍රී ලාංකීය ජන ජීවිතය අඩපණ කොට ඇත. ශ්‍රී ලාංකිකයෝ තමන්ට අහිමිවූ ජීවිත සහ එයින් ඇතිවූ හානි විඳදරා ගැනීමට ඉමහත් වෙහෙසක් දරති.

අවුරුදු 2500කට පමණ පෙර දේශනා කළ අපගේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය වැඩිවශයෙන් ගැළපෙන්නේ අද සමාජයටයි. බුද්ධ ධර්මයෙහි මූලික හරය වන්නේ සාමය සහ අවිහිංසාවයි. ඉවසීම සහ එකිනෙකා තේරුම් ගැනීමේ ගුණය බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වූ ජන සමාජයක මූලික පරමාදර්ශය වේ.

බුද්ධ ධර්මයෙහි එන මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන්නා වූ සතර බ්‍රහ්ම විහරණය අද සමාජයේ ඇතිවන සියලුම සමාජීය ගැටලුවලට හොඳම විසඳුමයි. එමගින් සමාජයේ ඇතිවන අවිශ්වාසය සහ නොසන්සුන්තා මඟහැර ජාතිවාදී සහ ආගම්වාදී ඝට්ටනයන්ගෙන් ඇතිවූ තුවාල සුවපත් කර සාමකාමී පරිසරයක් නිර්මාණය කළ හැකිය.

බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ගුණයන් ලොව ජීවත්වන සියලුදෙනා කෙරෙහි අදාළ වන අතර උන්වහන්සේ දේශනා කළ අයුරින් ඔබ මේ ගුණයන් සැමට එකසේ, අපක්ෂපාතී ලෙස, සර්ව සාධාරණව අනෙකා කෙරෙහි දැක්විය යුතුය. මෙය නිර්මල ලෙස ක්‍රියාවට නංවන්නේ නම්, සියලු සමාජ මතිමතාන්තර සහ බාධක බිඳවැටී, සාමකාමී එකමුතු සමාජයක් බිහිවී, අප අතරින් තුරන්වී ගිය සතුට සහ මහත්මා ගුණයන් නැවතත් අප වෙත ඇදී එනු ඇත.

අද අප ජිවත්වන සමාජය ගැටුම්වලින් පිරී ඇත. එම ගැටුම් ඇති කරන්නේ අධර්මයෙහි හැසිරෙන හිතුවක්කාර වෛරී පුද්ගලයන් විසිනි. ඔවුන්ට බුද්ධ වචනය එදාට වඩා අද මනාව ගැලපේ. බෞද්ධ ධර්මයෙහි සැබෑ ශ්‍රාවකයන් ලෙස අප සියලුදෙනා එකමුතුව, සාමය සහ මිත්‍රත්වය අගයන, ආදරය සහ කරුණාව දක්වන, සමාජයක් බිහිකළ යුතුය. ඔබගේ වචනයකින් පවා තවත් අයෙකුට සිත් රිදවීමක් සිදුනොවිය යුතුය.

මේ වෙසක් දිනයේ වෛරයේ අන්ධකාරය දුරුවී, සමඟිය, සන්තුෂ්ඨිය සහ ප්‍රබෝධය පිරි නවයුගයක් බිහිවේවා යැයි ප්‍රාර්ථනා කරමි. එය හුදෙක් ගැටුම් සහ කෝලාහල නොමැති සමඟියකට සීමා නොවී, එකිනෙකා කෙරෙහි ගෞරව කරන, සාමය පිළිබඳ සංවාදයකට විවෘත, සියලු ජාතින් අතර විවිධත්වයන් අගයන, මනුෂ්‍යත්වයට මුල්තැන දෙන සමඟියක් විය යුතුය. ධර්මාලෝකයෙන් සිත්සතන් ආලෝකමත් වන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *