සරසවි රැසක් අද-හෙට ඇරඹෙයි

(කොළඹ, ලංකාපුවත්) –රටේ පැවැති ආරක්ෂක තත්ත්වය හේතුවෙන් වසා දැමුණු විශ්වවිද්‍යාල රැසක අධ්‍යයන කටයුතු අද (21) සහ හෙට දින (22) සිට ආරම්භ වේ. සබරගමුව, ඌව වෙල්ලස්ස, පේරාදෙණිය, කොළඹ, රජරට, සෞන්දර්ය කලා ඇතුළු විශ්වවිද්‍යාල රැසක අධ්‍යයන කටයුතු මේ අනුව හෙට (22) ආරම්භ කෙරේ.

සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත මහතා පැවසුවේ සිසුන් තමන්ගේ අනන්‍යතාව සහතික කිරීම සඳහා විශ්වවිද්‍යාල හැදුනුම්පත හා ශිෂ්‍ය වාර්තා පොත රැගෙන විශ්වවිද්‍යාලයට පැමිණිය යුතු බවයි. සිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙන බැවින් ඒ සඳහා සියලු සිසුන් තම සහාය පළ කළ යුතු බවත්, මුහුණු වැසෙන ඇඳුම්වලින් විශ්වවිද්‍යාල භූමියට නොපැමිණිය යුතු බවත් උපකුලපතිවරයා පැවසීය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා, වාණිජ, විද්‍යා හා දන්ත වෛද්‍ය පීඨවල අධ්‍යයන කටයුතු ද හෙට (22) දිනයේ ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

එහි කෘෂිකර්ම, සම සෞඛ්‍ය, වෛද්‍ය පීඨ අද (21) දිනයේ ආරම්භ කරන අතර පශු වෛද්‍ය පීඨයේ පළමු සහ අවසන් වසර සිසුන් සඳහා ද අධ්‍යයන කටයුතු අද (21) සිට ආරම්භ වේ. ඉංජිනේරු පීඨයේ පළමු වසර සිසුන්ට සහ පරිගණක විද්‍යා පීඨයේ දෙවැනි වසර සිසුන් සඳහා ද අධ්‍යයන කටයුතු අද ආරම්භ වන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලය දැනුම් දී ඇත.

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ද විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් යටතේ හෙට සිට අධ්‍යයන කටයුතු ආරම්භ කරන බව එහි උපකුලපති මහචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පැවසීය. ඒ අනුව සියලුම සිසුන් අද (21) දිනයේ උදෑසන නේවාසිකාගාරවලට වාර්තා කළ යුතුව ඇත.

රජරට විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා හා මානව ශ්‍රාස්ත්‍ර පීඨයේ විභාග කටයුතු සඳහා 23වැනි දා විශ්වවිද්‍යාලය සිසුන්ට විවෘත වන බව උපකුලපති ආචාර්ය බී.ඒ. කරුණාරත්න මහතා සඳහන් කළේය. සියලු ම සිසුන්ට අද (21) නේවාසිකාගරවලට පැමිණෙන ලෙස ද පාලනාධිකාරිය දැනුම් දී ඇත.

කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය ද අද (21) දිනයේ ආරම්භ කරන අතර සිසුන්ගේ සහ ආචාර්යවරුන්ගේ සහභාගීත්වයෙන් ආරක්ෂ කමිටු කිහිපයක් පිහිටුවා විශ්වවිද්‍යාලයේ ආරක්ෂාව තර කිරීමට කටයුතු කර ඇතැයි එහි උපකුලපති ජ්‍යෙෂ්ඨ මහචාර්ය සරත් චන්ද්‍රජීව මහතා ප්‍රකාශ කළේය.

ආරක්ෂක අංශ විශ්වවිද්‍යාලය අවට සහ විශ්වවිද්‍යාල පරිශ්‍රයේ මෙහෙයුම් කටයුතු සිදු කර ආරක්ෂාව තහවුරු කර ඇතැයි ද උපකුලපතිවරයා පැවසීය.

මේ අතර කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධ්‍යයන කටයුතු පසුගිය 17වැනි දා ආරම්භ වු නමුත් එහි අනෙකුත් පීඨ විවෘත කෙරෙන දිනයක් සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නැතැයි එහි නියෝජ්‍ය උපකුලපතිවරයා පැවසීය.

ලබන සතියේ දී බොහෝ දුරට විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු ආරම්භ කෙරෙනු ඇති බව ද ඒ මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *