ශ්‍රී ලංකාවට ලකුණු 35ක ජයක්

(කොළඹ, ලංකාපුවත්) –ස්කොට්ලන්ත ක්‍රිකට් කණ්ඩායම සමග එඩින්බරෝහි පැවැති දෙවැනි සහ අවසන් එක්දින තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 35ක ජයක් අත්කර ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

දෙපිල අතර පළමු තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමූ අතර මේ ජය සමගින් තරග 2කින් සමන්විත තරගාවලිය 1-0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 8ක් දැවී ලකුණු 322ක් රැස්කළ අතර එම ඉලක්කය හඹාගිය ස්කොට්ලන්ත ඉනිමේ 27 වැනි ඕවරයේදී වර්ෂාවෙන් බාධා වීම හේතුවෙන් තරගය නතර කෙරිණි. තරගය යළිත් ආරම්භ වූයේ කඩුලු 3ක් දැවී ලකුණු 132ක් ලබා සිටි ස්කොට්ලන්තයට ඕවර 34කදී ලකුණු 235ක ඉලක්කයක් සමගිනි.

වර්ෂාවෙන් අනතුරුව ඕවර 7කදී ලකුණු 103ක් හඹායෑම ඇරැඹූ ස්කොට්ලන්ත පිතිකරුවෝ තිසර පෙරේරා යැවූ 28 වැනි ඕවරයෙන් ලකුණු 19ක් උදුරාගත් අතර ලක්මාල්ගේ ඊළඟ ඕවරයෙන් ආරම්භක පිතිකරු මැතිව් කෘස් ලකුණු 55කට දැවී ගියේය.

වේගවත් පිතිහරඹයක් දියත් කළ ජෝර්ජ් මුන්සි, නුවන් ප්‍රදීප්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් ලකුණු 61කට දැවී ගිය අතර ඒ සමගින් ලකුණු 10ක් තුළ අවසන් කඩුලු 4 දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වීමත් සමඟ ඉනිම ලකුණු 199කට සීමා විය.

ස්කොට්ලන්ත ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 51දී බිඳ දැමීමට නුවන් ප්‍රදීප් සමත්වූයේ නායක කයිල් කොයෙට්සර් පිටියෙන් ඉවත් කිරීමෙනි. හතරේ පහර 7ක් සමගින් පන්දු 44කින් ලකුණු 34ක් ලබා සිටි ඔහු, ළහිරු තිරිමාන්න උඩ පන්දුවක් රැක ගැනීමෙන් දැවී ගියේය. අනතුරුව යළිත් ක්‍රියාත්මක වූ ප්‍රදීප් ඊළඟ ඕවරයෙන් දෙවැනි කඩුල්ල අහිමි කළේ කැලම් මැක්ලෝඩ් (1) ගේ කඩුල්ල බිඳ දමමිනි.

තෙවැනි කඩුල්ලට ලකුණු 43ක් එක් වීමෙන් අනතුරුව ඉසුරු උදාන යැවූ ඔහුගේ තෙවැනි ඕවරයේදී ලකුණු 18ක් ලබා සිටි ක්‍රෙග් වොලන්ස්, කඩුලු රකින කුසල් මෙන්ඩිස් උඩ පන්දුවක් රැක ගැනීමෙන් දවා ගැනීමට සමත් විය. ඉනිම ගොඩනැගීමේ හුදෙකලා සටනක නිරතවූ ආරම්භක පිතිකරු මැතිව් කෘස්, ජෝර්ජ් මුන්සි සමගින් සිවුවැනි කඩුල්ලට ලකුණු 37ක් එක්කර තිබියදී තරගයට වාර්ෂාවෙන් බාධා ඇතිවිය. ඒ වනවිට ස්කොට්ලන්ත ලකුණු පුවරුව ඕවර 27කදී කඩුලු 3කට ලකුණු 132ක් ලෙස සටහන් විය.

නායක දිමුත් කරුණාරත්න සහ අවිශ්ක ප්‍රනාන්දු පළමු කඩුල්ලට පන්දු 133කි ලකුණු 123ක සබඳතාවක් ගොඩනගමින් සත්කාරකයන්ගේ ඇරැයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිලට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ.

පන්දු 61කින් මංගල එක්දින අර්ධ ශතකය සම්පූර්ණ කරගත් අවිශ්ක ඉනිමේ පළමු කඩුල්ල ලෙස දැවී ගියේ මයිකල් ලීස්ක්ගේ පන්දුවක් හමුවේ ජෝර්ජ් මුන්සි උඩ පන්දුවක් රැක ගැනීමෙනි. හතරේ පහර 5ක් සහ හයේ පහර 3කින් ඉනිම වර්ණවත් කරගත් අවිශ්ක ඒ වනවිට ලකුණු 74ක් ලබා සිටියේ පන්දු 78ක් පමණක් වැය කරමිනි.

අවස්ථා 2කදී දැවී යෑමෙන් බේරීමට වාසනාවත්ත වූ නායක දිමුත් කරුණාරත්න මුළු ලකුණු 203දී ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් කිරීමට බ්‍රැඩ් වීල් ට හැකිවූ අතර ඉන් නොනැවතුණු ඔහු, ශ්‍රී ලංකා පිතිකරණ ලැයිස්තුවේ උසස් වීමක් සමගින් පිටියට පිවිසි තිසර පෙරේරා ද එම ඕවරයේදී ලකුණු ලබා ගැනීමට පෙර යළිත් ක්‍රීඩාගාරය වෙත හරවා යැවුවේය.

පන්දු 88කදී හතරේ පහර 7ක් සමගින් ලකුණු 77ක් රැස්කළ කරුණාරත්න ඊට පෙර කුසල් මෙන්ඩිස් සමගින් දෙවැනි කඩුල්ලට ලකුණු 81ක් එක්කර තිබිණි. 2015 වසරෙන් පසු එක්දින පිටියට පිවිසි කරුණාරත්නගේ දෙවැනි එක්දින අර්ධ ශතකය මෙය වූ අතර මින් පෙර ඔහු පළමු අර්ධ ශතකය වාර්තා කර තිබුණේද ස්කොට්ලන්තයට එරෙහිව 2011 වසරේ එඩින්බරෝහිදීමය.

මුළු ලකුණු සංඛ්‍යාව 210 වනවිට ශ්‍රී ලංකා පිලට සිවුවැනි කඩුල්ල අහිමිවූයේ එක් ලකුණක් ලබා සිටි ඇන්ජලෝ මැතිව්ස්, ටොම් සෝල්ගේ පන්දුවක් හමුවේ මයිකල් ලීස්ක් අතට උඩ පන්දුවක් දෙමින් දැවී යෑම හේතුවෙනි.

පිට පිට කඩුලු බිඳ වැටෙද්දී ලකුණු ලබා ගැනීම වේගවත් කළ කුසල් මෙන්ඩිස් ලකුණු 66ක් ලබා සිටියදී ඉනිමේ 5 වැනි කඩුල්ල ලෙස දැවී ගියේය. පන්දු 56කින් ඉනිම ගොඩනැගූ ඔහු හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් ඉනිමට එක්කර ගත්තේය.

ලකුණු 258 වෙද්දී 6 වැනි කඩුල්ල ලෙස ධනංජය ද සිල්වා ලකුණු 7කට දැවී යද්දී අංක 6 පිතිකරු ලෙස පිටියට පිවිසි ළහිරු තිරිමාන්න සමගින් එක්ව පසුපෙළ පිතිකරුවන් වූ ජීවන් මෙන්ඩිස් පන්දු 8කින් ලකුණු 13ක්, ඉසුරු උදාන පන්දු 7කින් ලකුණු 15ක් සහ සුරංග ලක්මාල් පන්දු 4කින් නොදැවී ලකුණු 12ක් රැස් කරමින් ශ්‍රී ලංකා පිල ලකුණු 300 සීමාවට රැගෙන ගියහ. ඉනිම නිමාවනවිට තිරිමාන්න හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමගින් පන්දු 40කින් නොදැවී ලකුණු 44ක් රැස්කර තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *