අලුත බැඳපු ජෝඩුවලට නිවාස ණය යෝජනා ක්‍රමය ලබන සතියේ සිට

(කොළඹ, ලංකාපුවත්) – අලුත විවාහපත් යුවළ වෙනුවෙන් රජය හඳුන්වා දුන් “හෝම් ස්වීට් හෝම් නිවාස ණය යෝජනා ක්‍රමය” ලබන සතියේ සිට ක්‍රියාත්මක කැරෙන බව මුදල් ඇමති මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේය. මේ ණය යෝජනා ක්‍රමය යටතේ විවාහපත් යුවළකට තම නිවාස සිහිනය සැබෑ කරගැනීමට රුපියල් කෝටියක් දක්වා වූ ණය මුදලක් බැංකු වෙතින් ලබාගත හැකි වේ.

විවාහ දිවියට එළැඹි තරුණ තරුණියන්ගේ එක් සිහිනයක් වන තමන්ටම කියා නිවසක් ඉදිකර ගැනීමට රජය අතදීම සිදුකළ යුතු යැයි අවබෝධ කරගනිමින් හඳුන්වා දුන් මේ ණය සඳහා අයකරන පොලියෙන් සියයට 50 ක් ම රජය දරනු ලැබීම මෙහි ඇති විශේෂත්වයයි.

ඒ අනුව නිවාස ණය ලාභී තරුණ යුවළගෙන් අය කරනුයේ සියයට 6.5 ක වාර්ෂික පොලියකි. මේ ණය මුදල ගෙවා දැමීමට වසර 25 ක කාලයක් ලබාදීමද මෙහි ඇති තවත් විශේෂත්වයක් වේ.

රජය ඉකුත් වසරේ අගෝස්තු සිට ක්‍රියාවට නැංවූ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහන ණය යෝජනා ක්‍රම අතරට අලුතින්ම එක් කළ සිහින මාලිගා ණය යෝජනා ක්‍රමයෙන් වැඩි පිරිසක් ප්‍රතිලාභ ලබාගනු ඇතැයි මංගල සමරවීර මහතා විශ්වාසය පළ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *