බ්‍රිතාන්‍ය අගමැතිවරිය ඉල්ලා අස්වීමට තීන්දු කරයි

(කොළඹ, ලංකාපුවත්) – බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරිය වන තෙරේසා මේ එළඹෙන ජුනි මස 07 වෙනිදා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඇය මේ බව පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඒ අනුව අලුතින් අගමැතිවරයෙකු පත් කර ගැනීම සඳහා ඉඩ සලසමින් තමන් ජුනි 07 වෙනිදා කොන්සවේටිව් පක්ෂ නායකත්වයෙන් ඉවත් වන බව බ්‍රිතාන්‍ය අගමැතිනිය තෙරේසා මේ පවසා තිබේ.

“නව නායකයෙකු තෝරා ගැනීමේ ක්‍රියාවලිය ඊළඟ සතියේ සිට ඇරඹීමට පක්ෂ සභාපති සමග එකඟතාවයකට පැමිණියා.” යනුවෙන් ඇය කියා සිටී.

කොන්සවේටිව් පක්ෂයේ නායකත්වය සඳහා සුදුස්සෙකු තෝරා ගනු ලබන තෙක් අගමැති ධුරයේ කටයුතු කරනු ඇති බවත් තෙරේසා මේ සඳහන් කළාය.

හැඟුම්බර ලෙස කතා කළ ඇය පැවසුවේ බ්‍රිතාන්‍ය අගමැති ධුරයේ කටයුතු කිරීමට ලැබීම “තම ජීවිතයේ ලද ගෞරවයක්” ලෙස සලකන බවය.

තමා බ්‍රිතාන්‍යයේ දෙවන අග්‍රාමාත්‍යවරිය වීම පිළිබඳව ආඩම්බර වන බවද ඇය පැවසීය.

අගමැතිවරිය ලෙස තෙරේසා මේ ඉදිරිපත් කරන ලද ‘බ්‍රෙක්සිට්’ සැලසුම් තෙවරක් ම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දී පරාජයට පත්විය.

එම උත්සාහයට නායකත්වය දීම සඳහා නව අගමැතිවරයෙකුට ඉඩ සැලසීම එක්සත් රාජධානියේ යහපත වෙනුවෙන් ගත හැකි හොඳම පියවර බව මට දැන් පැහැදිලියි.” ඇය ප්‍රකාශ කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *