ලොව පුරා ත්‍රස්ත අත්දැකීම් අනුව රටේ ආරක්ෂාව ගැන අඛණ්ඩ අවධානය වැදගත්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාව තුළ ත්‍රස්ත ක්‍රියාකාරකම් අවසන් වුව ද ලෝකයේ අනෙකුත් රටවල් මෙම ත්‍රස්ත සංවිධානය පිළිබඳ ලබා ඇති අත්දැකීම් අනුව රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ අඛණ්ඩව දැඩි අවධානයකින් පසුවීම ඉතා වැදගත් බව ජාතික ආරක්ෂක තත්ත්වය පිළිබඳ සමාලෝචන සභාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරි‍සේන මහතා පෙන්වා දෙයි.

සියලු පාර්ශ්වයන්ගේ අදහස් සහ යෝජනා මෙන්ම සහයෝගය ලබා ගනිමින් රටේ ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියේ දී එම කටයුතු සමාලෝචනය කිරීමේ සභාවක් මාසිකව කැඳවීමට ජනාධිපතිවරයා තීරණය කර තිබෙන අතර, එහි පළමු රැස්වීම පසුගියදා (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

පසුගියදා රට තුළ ඇති වූ තත්ත්වය සමනය කිරීමට මසක් වැනි කෙටි කාලයක් ඇතුළත පියවර ගැනීම පිළිබඳ මෙහිදී සහභාගී වූ සියලු නියෝජිතයන් පළමුව ජනාධිපතිවරයා වෙත සිය ප්‍රශංසාව පළ කළහ. එමෙන්ම සියලු පාර්ශ්වයන්ගේ අදහස්, යෝජනා මෙන්ම චෝදනා ද ඉදිරිපත් කිරීමට වේදිකාවක් සලසා දෙමින් මෙවන් සාකච්ඡා මාලාවක් කැඳවීම පිළිබඳ ඔවුහු ජනාධිපතිවරයා වෙත සිය ස්තූතිය පිරිනැමූ අතර එය ඉතා කාලෝචිත පියවරක් බව ද කියා සිටියහ. මෙම ජාත්‍යන්තර තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් රටේ ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීමේ දී සියලු පාර්ශ්වයන්ගේ සහාය ඊට අවශ්‍ය බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මෙම රැස්වීම මසකට වරක් කැඳවීමට අපේක්ෂා කරන බව පැවසූ ජනාධිපතිවරයා ජාතික ආරක්ෂක වැඩපිළිවෙළේ යම් අඩු පාඩු හා දුර්වලතා තිබේ නම් ඒ පිළිබඳ මෙහිදී අදහස් ඉදිරිපත් කළ හැකි අතර අදහස්, යෝජනා, ගැටලු මෙන්ම චෝදනාවලට ද මෙම සභාව විවෘත බව කියා සිටියේය. මහා සංඝරත්නය ප්‍රමුඛ සර්ව ආගමික නායකයන් ද, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කථානායක කරූ ජයසූරිය, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහත්වරුන් සහ ජ්‍යෙෂ්ඨ මැති ඇමතිවරුන් ද, ආණ්ඩුකාරවරුන්, පක්ෂ නායකයන් ඇතුළු නියෝජිතයන් ද, විශ්වවිද්‍යාල උපකුලපතිවරු, මහාචාර්යවරු අතුළු විද්වතුන් ද, ජනාධිපති ලේකම්, ආරක්ෂක ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ වැඩබලන පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *