විවෘත කිරීමේ උත්සවයක් ඇමති අර්ජුන හදිසියේම නතර කරයි

(කොළඹ, ලංකාපුවත්) – ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ගම්පහ කාර්යාලය අලුත් ස්ථානයක ස්ථාපිත කෙරිණ.

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ගම්පහ කාර්යාලය මීට පෙර පැවැතියේ අඩුපහසුකම් සහිත ස්ථානයක වේ. එහි පහසුකම් ප්‍රමාණවත් නොවීමෙන් දෛනිකව එම කාර්යාලයෙන් සේවා ලබා ගැනීමට පැමිණෙන මහජනතාව දැඩි ලෙස අපහසුතාවයට පත් වූහ. මේ තත්ත්වය සැලකිල්ල‍ට‍ ගෙන එම කාර්යාලය අද (27) ගම්පහ සියනෑ පාර අංක 48 යන ස්ථානයේ ස්ථාපිත කෙරුණේ ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ සුරතිනි.

කෙසේනමුත් එම විවෘත කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ උත්සවය පීත්ත පටිය කැපීමට පමණක් සීමා කර එහි සෙසු කටයුතු වහාම නතර කිරීමට අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පියවර ගත්තේය. ඒ උත්සවය පැවැත්වෙන අතරතුරදී මහජනතාවට සිදුවිය හැකි අපහසුතාවය සැලකිල්ලට ගනිමිනි.

එම හදිසි නතර කිරීම ගැන උත්සවය ආවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදීන් විමසා සිටි අවස්ථාවේ අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ උත්සවවලට වඩා මහජනතාව තමන්ට වැදගත් වන බවයි.

“මම මෙතැනට එන විට වෛද්‍ය සහතිකය ලබා ගැනීමට විශාල පිරිසක් පැමිණ සිටියා. නමුත් උත්සවය නිසා කාර්යාල කටයුතු තවකාලිකව නවත්තලා තිබුණා. ඒ නිසා මම උත්සවය වහාම නතර කරන්න කිව්වා. මම ඒ දේ කළේ කේන්තියෙන් නෙමෙයි. මහජනතාව අපහසුතාවයට පත් කරලා අපි උත්සව ගෙන වැඩක් නැහැ. මෙතැන මිනිස්සු අව්වේ වේලි වේලි ඉන්නේ. හදිසියේ වැස්ස නම් වැස්සට තෙමෙනවා. පෝලිම්වල මිනිස්සුන්ට වාඩි වෙන්න පුටු මදි. ඒ නිසා මම ඒ අඩුපාඩු ටික සකස් කරන්න නිලධාරීන්ට උපදෙස් දුන්නා. උත්සවය නිසා ඇති විය හැකි ප්‍රමාදය සැලකිල්ලට ගෙන උත්සවය අවලංගු කරලා සේවාව දිගටම ගෙන යන්න මම උපදෙස් දුන්නා…”යි අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙහිදී මාධ්‍යවේදීන් හමුවේ පැවැසීය. ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙම කාර්යාල පරිශ්‍රයේද යම් අඩුපාඩුවක් පවතීනම් එයද ඉක්මනින්ම විසඳීමට පියවර ගන්නා බවයි. ඉදිරියේදී අන්තර්ජාලය හරහා වෛද්‍ය සහතික නිකුත් කිරීමේ කටයුතු වඩාත් පහසු කරන බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙහිදී කියා සිටියේය.

“සමහර අවස්ථාවලදී රජයේම තියෙන නීතිරීති නිසා මහජනතාවට සේවා සැපයීමේදී යම් යම් දුෂ්කරතාවලට පත් වෙන්න සිදු වෙනවා. නමුත් අප කළ යුත්තේ රජයේ නීතිරීතිත් රැකගෙන මහජනතාවට උපරිම සේවාවක් ලබා දීමයි. එහෙම වුණොත් අපිට මීට වඩා හොඳ සේවාවක් මහජනතාවට ලබා දිය හැකි බව මම විශ්වාස කරනවා…”යිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *