එන්ටප්‍රයිස් මූල්‍ය පහසුකම් පුළුල් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – ‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා’ (Enterprise Sri Lanka) වැඩසටහන යටතේ ලබා දෙන මූල්‍ය පහසුකම් පුළුල් කිරීමට රජය පියවර ගෙන ඇත.

ජාතික සංවර්ධන ක්‍රියාවලිය සඳහා දායක වන විවිධ පාර්ශ්වයන්ගේ ඉල්ලීම් සැලකිල්ලට ගෙන 2019 අයවැය මඟින් දැනට ක්‍රියාත්මක වන ණය යෝජනා ක්‍රම හරහා ලබා දෙන ප්‍රතිලාභ තවදුරටත් පුළුල් කිරීම සහ එම ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමේදී මුහුණ දීමට සිදුවන තාක්ෂණික ගැටලු අවම කිරීමේ අරමුණින් රන් අස්වැන්න, රිය ශක්ති, හෝම් ස්වීට් හෝම්, සිහින මාලිගා, සිටි රයිඩ්, ජය ඉසුර, මිනි ටැක්සි/විදුලි ත්‍රීරෝද රථ සහ මගේ අනාගතය යන ණය යෝජනා ක්‍රම මහජනතාවට තවදුරටත් ප්‍රතිලාභ හා සහන අත්වන පරිදි සංශෝධනය කරනු ලැබ තිබේ.

එසේ සංශෝධන ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

රජයේ ප්‍රමුඛ වැඩසටහනක් වන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන හරහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්, තරණ තරුණියන්, කාන්තා ව්‍යවසායකයින්, ස්වයං රැකියාලාභීන්, උපාධිධාරීන් සහ විදේශ රැකියා නියුක්තිකයන් වෙනුවෙන් සහන පොළී ණය යෝජනා ක්‍රම 17ක්, ප්‍රතිමූල්‍ය ණය යෝජනා ක්‍රම 03ක් සහ මූල්‍ය නොවන පහසුකම් සලසන වැඩසටහන් 02ක් ක්‍රියාත්මක වන අතර, මේ වන විට මෙම වැඩසටහන හරහා රුපියල් බිලියන 81ක පමණ ණය ප්‍රමාණයක් ප්‍රතිලාභීන් වෙත ලබා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *