තවුහිද් ජමාද් ත්‍රස්තවාදය සම්පූර්ණයෙන් ම තුරන් කළා – අගමැති

(කොළඹ, ලංකාපුවත්) –ජාතික තවුහිද් ජමාද් ත්‍රස්තවාදී සංවිධානය මේ වනවිට රටෙන් සම්පූර්ණයෙන්ම තුරන්කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. නැවත එය ඇතිනොවන ආකාරයට ප්‍රතිව්‍යුහකරණය කර සංහිඳියාවෙන් ඉදිරියට යා යුතු බවද අගමැතිවරයා කීවේය. හදිසි නීතිය ඉවත්කිරීමට පෙර ත්‍රස්තවාදීන් මර්දනය සඳහා නව නීති පද්ධතියක් හඳුන්වාදීමට අවශ්‍ය කෙටුම්පතක් නීතිපතිවරයාට සහ අධිකරණ ඇමැතිතුමියට ලබා දී ඇති බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (30) අම්පාර නගර සභා ක්‍රීඩාපිටියේ පැවැති පවුල් ලක්ෂ හයක් සඳහා සමෘද්ධි හිමිකම් ලබාදීමේ ජාතික මහෝත්සවයේ සමාරම්භක උත්සවයට එක්වෙමිණි.

එම වැඩසටහන යටතේ රට පුරා නව සමෘද්ධි සහනාධාරලාභීන් ලක්ෂ 6ක් සඳහා ප්‍රතිලාභ සැලසීම හා ස්ව්‍යං රැකියා සඳහා සමෘද්ධි අධිකාරිය හරහා සහන ණය ලබාදීම සිදුවේ.

එහිදී අද (31) දිනට යෙදන දුම්වැටි විරෝධී දිනය වෙනුවෙන් නිකුත්කරන ප්‍රථම නිල කොඩිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමෘද්ධි කැකුළු ලමා සමාජය විසින් පිළිගන්වන ලදි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා-

සහරාන්ගේ සංවිධානය මර්දනය කළා කියා ත්‍රස්තවාදීන් ඉවරයි කියා උපකල්පනය කළ නොහැකියි. එක කණ්ඩායමක් මර්දනය කළා සේම තව කණ්ඩායමක් නිර්මාණය විය හැකියි. ඒ නිසා මේ පිළිබඳ අපිට දැනට තිබෙන නීති මදි. හදිසි නීතිය ඉවත්කිරීමට පෙර ත්‍රස්තවාදය මර්දනය සඳහා නව නීති පද්දතියක් හඳුන්වාදීමට අපි අවධානය යොමුකර තිබෙනවා. අන්තවාදීන් අත්ඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය නීති පද්දතියක් ඇතිකිරීම සඳහා නීතිපතිවරයාට සහ අධිකරණ ඇමැතිතුමියට කෙටුම්පතක් භාර දී තිබෙනවා නුදුරේදීම අපි ඒවා සම්මත කරනවා.

නීති තිබුණට මදි, අපිට අවශ්‍යයි ප්‍රතිත්‍රස්තවාදය ඇතිකිරීමට නව වැඩපිළිවෙළක්. ඒ සඳහා හොඳ දත්ත පද්දතියක් තිබීම වැදගත්. අපේ රටේ නැතිවුණාට වෙනත් රටවල ඒවා ක්‍රියාත්මක වෙනවා. ආගමන විගමන දෙපාර්තමේන්තුව හා පොලීසිය අතර තොරතුරු හුවමාරුවන පද්දතියක් තිබියයුතුයි. මම නියෝග කළා එම පද්දතිය හදන්න කියා.

සහරාන්ගේ ත්‍රස්තවාදී කණ්ඩායමට සම්බන්ධ සියලු පුද්ගලයන් අතඩංගුවට ගෙන තිබෙනවා. මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් මෙන්ම ඒ අයට උදව් කළ පුද්ගලයන් පිළිබඳ අපි පරීක්ෂණ කරමින් සිටිනවා. ඒ අයට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරීමට අපි සූදානම්. සැකපිට අතඩංගුවට ගත් ත්‍රස්තවාදී නොවන පුද්ගලයන් ප්‍රශ්නකිරීම් වලින් අනතුරුව නිදහස්කර තිබෙනවා.

පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කළ එන්.ටී.ජේ ත්‍රස්තවාදී කණ්ඩායම සම්පූර්ණයෙන් මර්දනය කර තිබෙනවා. දැන් අපට තිබෙන්නේ මෙවැනි සංවිධාන ඇතිනොවන සේ කටයුතු කරන්නයි. ඒ සඳහා සියලු ජාතීන් එකතු වී සංහිඳියාව රැකෙන සේ කටයුතු කළ යුතුයි. 1983 අපි කළ වරද නැවත කිරීමට අපි ඉඩදියයුතු නෑ.

බෝම්බ ප්‍රහාරයෙන් පසු ආරක්ෂක අංශ මුණගැසුනා. ආරක්ෂක අංශ පැය 24ක් යන්න මත්තෙන් ප්‍රහාරය පිළිබඳ සියලු තොරතුරු සොයා ගැනීමට හැකිවුණා. එය ආරක්ෂක අංශවල සක්‍රීය මැදිහත්වීම නිසායි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *