පොසොන් උත්කර්ශවත්ව සැමරීමට අවශ්‍ය පියවර ගන්න

(කොළඹ, ලංකාපුවත්) – මෙවර පොසොන් උත්සවය උත්කර්ශවත් අන්දමින් සැමරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බුද්ධශාසන අමාත්‍යාංශයට උපදෙස් දී තිබේ.

ප්‍රාදේශීය මට්ටමින් ද පොසොන් උත්සවය වෙනුවෙන් වැඩසටහන් සංවිධාන කරන ලෙස එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන්ට සහ ආසන සංවිධායකවරුන්ට අග්‍රාමාත්‍යවරයා දැනුම් දී ඇත. පොසොන් උත්සවය වෙනුවෙන් ඓතිහාසික මිහින්තලයේ පුදබිමේ ආරක්ෂාව තහවුරු කිරීමට, ආරක්ෂක අංශ ඊයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළේය.

මෙවර ද පොසොන් පිංකම් පැවැත්වෙන්නේ, මිහින්තලයේ පුදබිම කේන්ද්‍රකර ගනිමින් ය.

පුදබිම හා ඒ වටා ඇති කඳු පංතිය ඊයේ දවස පුරා සෝදිසි කළ ද ආරක්ෂාවට තර්ජනයක් වන කිසිවක් එහි තිබී හමුවූයේ නැත. යුද හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය, පොලීසිය හා සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් ද මෙහෙයුමට එක්ව සිටියේය. සෝදිසි කිරීමේ දී සතුන් දඩයම් කිරීමට අටවන ලද උගුල් කිහිපයක් පමණක් සොයාගෙන තිබේ. පොසොන් සැමරීමට මිහින්තලා පුදබිමට පැමිණෙන ලෙසයි, විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුන වැවේ ධම්මරතන හිමියන් සැදැහැවතුන්ගෙන් ඉල්ලා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *