බංග්ලාදේශයට ලකුණු 21ක ජයක්

(කොළඹ, ලංකාපුවත්) –දකුණු අප්‍රිකාවට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පිට පිට දෙවැනි පරාජයත් උරුම කරදුන් බංග්ලාදේශ ක්‍රීඩකයෝ ඊයේ පැවැති තරගයෙන් ලකුණු 21ක ජයක් අත්කර ගත්හ.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 5 වැනි තරගය ලෙස ලන්ඩනයේ කේනිංටන් ඕවල් පිටියේ පැවැති මේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය කඩුලු 6ක් දැවී ලබාදුන් ලකුණු 331ක ඉලක්කය හඹාගිය දකුණු අප්‍රිකාවට ඕවර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 309ක් පමණි.

බංග්ලාදේශය එක්දින පිටියේදී දකුණු අප්‍රිකාව පරාජය කළ සිවුවැනි අවස්ථාව මෙය විය.

දකුණු අප්‍රිකානු පිළිතුරු ඉනිමේ පළමු කඩුල්ල ලෙස ලකුණු 23ක් ලබා සිටි ක්වින්ටන් ඩි කොක් දුවද්දී දැවී ගියේ මුළු ලකුණු 49දීය. අනතුරුව නායක ෆෆ් ඩු ප්ලේසි සමග එක්ව ලකුණු 53ක සබඳතාවකින් පසු ආරම්භක පිතිකරු ඒඩ්න් මාක්‍රම්, සකීබ් අල් හසන්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේය. එය ජාත්‍යන්තර එක්දින පිටියේ සකීබ් දවාගත් 250 වැනි කඩුල්ල විය. ඒ සමගින් එක්දින පිටියේ අඩුම තරග ගණනකදී (199) ලකුණු 5000 පසුකරමින් කඩුලු 250 සීමාව පසුකළ ක්‍රීඩකයා ලෙසද සකීබ් වාර්තා පොතට එක්විය.

මෙහෙදි හසන් හමුවේ ඉනිමේ සාර්ථකම පිතිකරු වූ ඩු ප්ලෙසිගේ ඉනිම ලකුණු 62කට සීමාවු අතර ඩේවිඩ් මිලර් ලකුණු 38කට පිටියෙන් ඉවත් කිරීමට මුස්තාෆිසූර් රහ්මාන්ට හැකිවිය. පන්දු 53කට මුහුණදුන් ප්ලෙසි හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමගින් 33 වැනි අර්ධ ශතකය වාර්තා කළේය.

අනතුරුව ක්‍රියාත්මක වූ මොහම්මඩ් සයිෆුඩීන්, රෙසී වැන් ඩර් ඩුසෙන් (41) සහ ඇන්ඩිලි පෙලුක්වායෝ (8) ද, මුස්තාෆිසූර් රහ්මාන් විසින් ක්‍රිස් මොරිස් (10) සහ ජේ.පී.ඩුමිනි (45) ද දවා ගනිමින් බංග්ලාදේශ ජය ඉක්මන් කළහ.

පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ ඉනිමට වේගවත් ආරම්භයක් ලබාදුන් ටමීම් ඉක්බාල් සහ සෞම්‍ය සර්කාර් පළමු කඩුල්ලට ලකුණු 60ක් එක් කළේ පන්දු 50කිනි. ලකුණු 16ක් ලබාසිටි ඉක්බාල් දවා ගනිමින් ඇන්ඩිලි පෙලුක්වායෝ එම සබඳතාව නිමා කළ අතර තවත් ලකුණු 15ක් වෙද්දී සර්කාර් පිටියෙන් ඉවත් කිරීමට ක්‍රිස් මොරිස්ට හැකිවිය. පන්දු 30කට මුහුණදුන් ඔහු හතරේ පහර 9ක් සමගින් ලකුණු 42ක් රැස් කළේය.

අනතුරුව තෙවැනි කඩුල්ලට එක්වූ සකීබ් අල් හසන් සහ මුෂ්ෆිකුර් රහීම් මුළු ලකුණු සංඛ්‍යාව 217 දක්වා ඉදිරියට ගෙන ගියේ ලකුණු 142ක සබඳතාවක් පිහිටුවමිනි.

43 වැනි අර්ධ ශතකය රැස්කර සිටි තරගයේ වීරයා වූ සකීබ්, ඉම්රාන් තාහීර්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවීයනවිට ලබාසිටි ලකුණු සංඛ්‍යාව 75කි. පන්දු 80කට මුහුණදුන් ඔහු හතරේ පහර 8ක් සහ හයේ පහරක් ඉනිමට එක්කර ගත්තේය.

පන්දු 80කින් ලකුණු 78ක් ලබාසිටි රහීම්, පෙලුක්වායෝ හමුවේ දැවී ගියේ 5 වැනි කඩුල්ල ලෙසිනි. 34 වැනි අර්ධ ශතකය රැස්කළ ඔහුගේ ඉනිමට හතරේ පහර 8ක් ඇතුළත් විය.

රහීම්ගේ දැවී යෑමත් සමග පිටියේ එක්වූ මහමුදුල්ලා සහ මොසැඩෙක් හුසේන් පන්දු 41කින් වේගවත් ලකුණු 66ක් රැස් කරමින් ලකුණු පුවරුව 316 දක්වා ඉදිරියට ගෙන ගියහ. හුසේන් පන්දු 20කින් ලකුණු 26ක් ලබාගත් අතර මහමුදුල්ලා හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමගින් පන්දු 33කින් නොදැවී ලකුණු 46ක් ඉනිමට එක් කළේය.

මෙය බංග්ලාදේශ කණ්ඩායමක් එක්දින තරගයකදී රැස්කළ ඉහළ ලකුණු සංඛ්‍යාව ලෙසද වාර්තා විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *