(කොළඹ, ලංකාපුවත්) – පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව රටේ උද්ගත වී ඇති නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් ඇමතිවරුන් තම අමාත්‍ය ධුරවලින් ඉවත් වීමට තීරණය කර තිබේ.
යහපාලන ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් මන්ත්‍රීවරු එකමුතුව ඊයේ (03) අරලියගහ මන්දිරයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව හෙළි කළහ.
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය රවුෆ් හකීම්, නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන අමාක්‍ය ෆයිසාල් කාසිම්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම්, මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්, වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල්ලාහ් මහ්රූෆ්, පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය එච්. එම්. එම්. හරීස්, කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය සෙය්යිඩ් අලී සාහීර් මවුලානා, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය අමීර් අලි සිහාබ්දින් යන අමාත්‍යවරු තම ධුරවලින් ඉල්ලා අස් වූහ.
මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා මුස්ලිම් අමාත්‍යවරුන් වන රවුෆ් හකීම්, මුජිබර් රහුමාන්, රිෂාඩ් බදියුදීන්, ඒ.එච්.එම්. ෆවුසි, කබීර් හෂීම්, ඒ.එච්.එම්. හලීම් යන අය සහභාගි වූහ.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය රවුෆ් හකීම් රටේ සංහිඳියාව ඇති කිරීම සඳහා මෙන්ම සමහර පාර්ශ්වයන්ගෙන් එල්ල වෙන චෝදනා හමුවේ මෙම තීරණය ගත් බවත් අමාත්‍ය ධුරවලින් ඉවත් වුවත් ආණ්ඩුවට දිගටම සහාය දක්වමින් පසුපෙළ මන්ත්‍රීවරුන් ලෙස රැඳී සිටින බවත් ආණ්ඩුව රැක ගැනීමට සියලු සහාය ලබාදෙන බවත් ප්‍රකාශ කළේය. පාස්කු ප්‍රහාරය පිළිබඳව කෙරෙන පරීක්ෂණ කටයුතුවලට තමන් සම්පුර්ණයෙන් සහාය දැක්වූ බව එහිදී පැවසූ අමාත්‍යවරයා තම ප්‍රජාවගෙන් සුළු පිරිසක් එම ප්‍රහාරයට සම්බන්ධ වුවත් සමහර පිරිස් දිගින් දිගටම පොදුවේ මුස්ලිම් ජනතාවට පදනම් විරහිත චෝදනා එල්ල කරන බවත්, ඇතැම් තර්ජන හමුවේ ප්‍රහාරවලට සම්බන්ධ නැති බොහෝ පිරිස් භීතියට පත්ව සිටීම ගැන තමන් දැඩි ලෙස වේදනාවට පත් වන බවත් පැවසුවේය.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය කබීර් හෂීම් පැවසුවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණවලට මුස්ලිම් මන්ත්‍රීවරුන් බලපෑම් කරන බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් එම පරීක්ෂණවලට තවදුරටත් සහාය දැක්වීමක් ලෙස තමන් මෙම තීරණයට එළඹි බවත්ය. අමාත්‍යවරයා සඳහන් කළේ සියලුම මුස්ලිම් ජනතාව නියෝජනය කරන අමාත්‍යවරුන් මෙම තීරණය ඒකමතිකව ගත් බවය. එසේම මේ තීරණය ගැනීමට ප්‍රථමව අගමැති රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡා කළ බවද ඔහු කියා සිටියේය. ආණ්ඩුවේ තනතුරුවලින් ඉවත් වුවද ආණ්ඩුව බලයෙන් පහ කිරීමට කිසිදු බලවේගයකට සහාය නොදෙන බවත් ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් ලෙසට ආණ්ඩුවට සහාය දක්වන බවත් ඔහු එහිදී සඳහන් කළේය.