ජාතික ප්‍රතිපත්ති සැකසීමට ආණ්ඩුව-විපක්ෂය එක් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – රට තුළ දිගුකාලීන ජාතික ආගමික සංහිඳියාවක් තහවුරු කිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් ස්ථාපිත කෙරුණු විශේෂ කාරක සභාවේ නිර්දේශවලට සියලු දේශපාලන නායකයින්ගෙන් යහපත් ප්‍රතිචාරයක් පළ වූ බව, එම විශේෂ කාරක සභාවේ සභාපති, කථානායක කරු ජයසූරිය මහතා නිවේදනය කරයි.

‘ශ්‍රී ලංකාවේ ජාතික සහ ආගමික සහජීවනය සහතික කිරීම පිණිස හා ඒ පිළිබඳව අධ්‍යයනය කර සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව’ යනුවෙන් නම් කර ඇති අදාළ කාරක සභාව විසින් මහජන අදහස් විමසීමෙන් අනතුරුව සකසා සභාගත කරන ලද නිර්දේශයන්ගේ ක්‍රියාකාරී සැලැස්ම බලගැන්වීම අරමුණු කොටගත් විශේෂ රැස්වීමක් ඊයේ (4) පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 01 හි දී පැවැත්විණි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති කථානයක කරු ජයසූරිය, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ යන මහත්වරු සහ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභික මන්ත්‍රීවරු ඊට සහභාගී වූහ. පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් සභාගත කරන ලද අතුරු වාර්තාවේ අඩංගු නිර්දේශ එකිනෙක පුළුල් ලෙස මෙහිදී සලකා බැලුණු අතර එහිදී දිගුකාලීන සාමය ස්ථාපිත කිරීම සඳහා මෙම නිර්දේශ ඉතාමත් සාධනීය මට්ටමක පවතින බව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයන් ඇතුළු සියලු දෙනාගේ පොදු අදහස වී තිබේ.

මෙම නිර්දේශ අතුරින් කිහිපයක් පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කළ යුතු බවත් සෙසු නිර්දේශයන් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බවත් එහිදී තීරණය වී ඇති අතර අදාළ විෂය භාර අමාත්‍යවරු මේ සඳහා ඉතා යහපත් ප්‍රතිචාර දක්වා තිබේ. එසේම පාස්කු ඉරිදා දින ප්‍රහාරයෙන් පසු උද්ගත වූ තත්ත්වය සැලකිල්ලට ගනිමින් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් නිකුත් කරන ලද දියවන්නා ප්‍රකාශයද මෙහිදී විශේෂ අවධානයට ලක් විය. ජාතික වශයේන වැදගත් පොදු කරුණුවලදී දේශපාලන භේදයකින් තොරව ආණ්ඩුවේ සහ විපක්ෂයේ නායකයන් එක්ව තීරණ ගැනීම සඳහා දියවන්නා ප්‍රකාශය මඟින් ශක්තිමක් පදනමක් සකසා ඇති බවද මෙහිදී ඇගයීමට ලක්විය.

මෙම රැස්වීම අවසන් කරමින් කථානායක කරූ ජයසූරිය මහතා සඳහන් කර සිටියේ තිරසාර ජාතික හා ආගමික සහජීවනයක් ඇතිකර ගැනීම සඳහා ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ පූර්ණ ආශිර්වාදය සහ සක්‍රීය දායකත්වය වැදගත් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *