චෝදනා එල්ල වූ හිටපු ඇමතිවරු ගැන පැමිණිලි ඇත්නම් කමිටුවට කියන්න

(කොළඹ, ලංකාපුවත්) – යම් යම් චෝදනා එල්ල වූ හිටපු ඇමැතිවරුන් පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇති බවත්, ඕනෑම කෙනකුට තම චෝදනා ඊට ඉදිරිපත් කළ හැකි බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කෙළේය.

කමිටු වාර්තාව මසක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලීමටත්, වැරදිකරුවනට නඩු පැවරීමටත් ක්‍රියා කරන බවත් අගමැති වික්‍රමසිංහ මහතා පැවසිය.

නිදහසින් පසු ප්‍රථම වතාවට මුස්ලිම් ඇමැතිවරයකු නොමැති ආණ්ඩුවක් දැන් ක්‍රියාත්මක වෙමින් පවතින බවත් ස්වල්ප දෙනෙක් මේ පිළිබඳව සතුටට පත් වුණත් එය රටට හිතකර තත්ත්වයක් නොවන බව ද මෙහිදී වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ඊයේ (04 ) පැවැති ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ පශ්චාත් උපාධි ප්‍රදානෝත්සවයට සහභාගි වෙමින් අගමැති වික්‍රමසිංහ මහතා මේ බව පැවසිය.

මෙහිදී ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් කේ.එම්.එස්.ඩී ජයසේකර මහතා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමරු තිළිණයක් ද පිළිගන්වන ලදී.

මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් කේ.එම්.එස්.ඩී ජයසේකර, අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් පී. ඩබ්. රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් ද, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ පශ්චාත් උපාධිධාරීන් ද ආරාධිත අමුත්තන් රැසක් ද සහභාගි වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *