තවුහිද් සංවිධානයේ හම්බන්තොට පුහුණු මධ්‍යස්ථානයක් හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) – ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ අන්තවාදීන් පුහුණු කළ හම්බන්තොට පුහුණු මධ්‍යස්ථානය සොයා ගෙන ඇත. එය පිහිටා තිබී ඇත්තේ හම්බන්තොට සිප්පිකුලම ප්‍රදේශයේය.

අම්පාරෙන් සහ කාතන්කුඩියෙන් අත්අඩංගුවට ගත් සහරාන්ගේ අන්තවාදී කල්ලියට සම්බන්ධ වූ පිරිස් හම්බන්තොට පුහුණු මධ්‍යස්ථානය ගැන තොරතුරු හෙළිකර තිබිණි. ඔවුන්ගේ තොරතුරු ඔස්සේ එම ස්ථානය සොයාගත් බව පොලිසිය සඳහන් කරයි. එම පුහුණු මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇත්තේ නිවෙසක බවත් එම නිවෙසේ භාරකරු අත්අඩංගුවට ගෙන ඇති බවත් තංගල්ල කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් සඳහන් කෙළේය.

මෙම පුහුණූ මධ්‍යස්ථානය සොයා ගැනීමත් සමඟ සහරාන්ගේ අන්තවාදීන් පුහුණු කළ සියලුම පුහුණු මධ්‍යස්ථාන සහ කඳවුරු සොයාගෙන ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කෙළේය.

පුහුණු මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය නිවෙසේ හිමිකරු කුවේටයේ රැකියාවක නිරතව සිටින්නෙකි. භාරකරු එම නිවෙස එහි හිමිකරුට නොදන්වා හම්බන්තොටට පැමිණෙන මුස්ලිම් සංචාරකයන්ට නවාතැන් ගැනීමට ලබාදෙන බව පරීක්ෂණවලින් හෙළිවී තිබේ.

සහරාන් එම නිවෙස 2018 වසරේ සිට අවස්ථා හතරකදී සිය අන්තවාදීන් පුහුණු කිරීමට යොදාගෙන ඇතැයි පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි ලක්සිරි ගීතාල් මහතා පැවැසීය. වරකට රුපියල් 15000 ක් ඒ සඳහා ගෙවා ඇති බවත් පුහුණුව සීමා වී ඇත්තේ පැය 24 කට බවත් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

වරකට මෙම පුහුණු මධ්‍යස්ථානයේදී පුහුණුව ලබා ඇත්තේ 15 දෙනෙකුගේ පමණ කණ්ඩායමක් බවත් ඒ සෑම අයකුම පාහේ මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය සදහන් කරයි. පුහුණුව ලැබූ වැඩි පිරිසක් අම්පාර සහ මඩකලපුවේ පදිංචි කරුවන් බවද පෙනී ගොස් තිබේ.

මෙම පුහුණූ මධ්‍යස්ථානය සම්බන්ධිකරණය කැර ඇත්තේ කෑගල්ලේ ව්‍යාරිකයෙකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට ඔහුවට අත්අඩංගුවට ගෙන ඇතැයි ආරංචි මාර්ග අනාවරණය කෙළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *