විදුලිය මිලදී ගැනීමේ ගාස්තු සංශෝධනයක්

(කොළඹ, ලංකාපුවත්) – සූර්යබල සංග්‍රාමය යටතේ පැවති විදුලිය මිලදී ගැනීමේ ගාස්තු ක්‍රමය නැවත සමාලෝචනය කර තිබේ.

මේ සම්බන්ධව සූර්යබල සංග්‍රාමය වැඩසටහන යටතේ සේවා සපයන ආයතනවල සහ ලංකා විදුලිබල මණ්ඩලයේ එකඟත්වය ඇතිව යෝජනා කිහිපයක් ඉදිරිපත් වී ඇති බව විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

ඒ අනුව මේ වසරේ අගෝස්තු 01 වැනිදා සිට Net Plus ක්‍රමවේදය පමණක් ක්‍රියාත්මක කිරීමට ඕනෑම විදුලි පාරිභෝගිකයෙකුට ලබාදීම, කි.වො. 50ට අඩු ධාරිතාවයන් සඳහා වසර 20ක කාලය තුළ විදුලිය මිලදී ගැනීමේදී එක් ඒකකයක ගාස්තුව රුපියල් 19.75ක්ද, කි.වො. 50 සිට කි.වො. 1000 දක්වා විදුලිය මිලදී ගැනීමේදී එක් ඒකකයක ගාස්තුව රුපියල් 18.75ක් ලෙස සංශෝධනය කර තිබේ.

කි.වො. 1000ට වඩා ධාරිතාවයන්ගෙන් විදුලිය මිලදී ගැනීමේදී ලබාදෙන මුදල ඒකකයකට රුපියල් 16.00ක් වශයෙන්ද සංශෝධනය කර ඇත. මේ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීමට ඉදිරියේදී කටයුතු කරන බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. රජයේ ප්‍රමුඛ වැඩසටහනක් වන සූර්ය බල සංග්‍රාමය ගත වූ වසර 02ක කාලසීමාව තුළදී වඩාත් ප්‍රශස්ත මට්ටමකට පැමිණ ඇති බවත්, මේ වනවිට සූර්යබලය දෙසට යොමු වී ඇති ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයේ දිශානතිය තවදුරටත් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාම වෙනුවෙන් සූර්යබල විදුලි ක්ෂේත්‍රයේ සංවර්ධනයක් ඇතිකළ යුතු බවත් අමාත්‍යාංශ ලේකම් බටගොඩ මහතා පැවසීය.

නිවාස පියසි දසලක්ෂයක සූර්ය විදුලිබල පද්ධති සවි කර 2025 වනවිට මෙගාවොට් දහසක් ජාතික පද්ධතියට එක් කිරීම රජයේ අරමුණ වූ බවත් 2020 වනවිට මෙගාවොට් 200ක් ජාතික පද්ධතියට එක්කිරීමට සැලසුම් කළ බවත් අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි. මේ වනවිටත් එම මෙගාවොට් 200 ලබාගෙන ඇති බවත් මේ වනවිට සමාගම් 200ක් පමණ අලුතින් බිහි වී, ඒ තුළින් සෘජු රැකියා අවස්ථා දසදහසක් පමණ නිර්මාණය වී ඇති බවත් පැවසූ බටගොඩ මහතා පසුගිය වකවානුවේදී මෙම සූර්යබල සංග්‍රාමය නවත්වන බවට ප්‍රචාරයක් පැවති බවත් එහි කිසිදු සත්‍යයක් නොමැති බවත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *