නීතියෙන් වරදකරුවකු වනතුරු යමෙක් චූදිතයකු යැයි කීමට කිසිවකුට හැකියාවක් නෑ

(කොළඹ, ලංකාපුවත්) – නීතිය ඉදිරියේදී වැරදිකරුවකු බවට තීන්දුවක් ලබාදෙන තෙක් කිසිවෙකුට වැරදිකරුවකු යැයි කීමට දේශපාලනඥයින්ට, පූජක පක්ෂයට හෝ මාධ්‍යයට හැකියාවක් නැතැයි මුදල් ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.

දේශපාලනඥයින් ඉස්මතු කිරීමට හෝ රැකීමට හෝ හැකි නොවන අප රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවට දිවුරුම් දී ඇති මහජන ඡන්දයෙන් තේරීපත් වූ මහජන නියෝජිතයින්, ර‍ජයේ නිලධාරින් අධිකරණයෙන් වැරදිකරුවකු වන තෙක් වැරදිකරුවකු යැයි චෝදනා නැඟීමට කිසිවෙකුටත් හැකියාවක් නැතැයිද මුදල් ඇමැතිවරයා කියා සිටියි. ජාතික සමගිය ගොඩනැගීමේදී විශාල කාර්යභාරයක් හා වගකීම් සහගතව සේවාවක් ඉටුකරන පළපුරුදු පුද්ගලයකු ලෙස සහ ජාතිවාදී අදහස් වැපිරවීම වැළැක්වීමට සටන්වදින පුද්ගලයකු ලෙස ප්‍රකට මුදල් ඇමැතිවරයා මේ අදහස් පළ කළේ රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳ කරුණු දක්වමිනි.

ආගමික නායකයන් අතර ගැටුම් ඇති කරලීමට මුල්වන ආකාරයේ ප්‍රකාශ කළේ යැයි තමා වෙත එල්ල වී ඇති චෝදනාවන්ට පිළිතුරු මේ මඟින් ලබාදීමටද මුදල් ඇමැතිවරයා කටයුතු කොට තිබේ.

ශ්‍රී ලංකාව ප්‍රෞඪ අධිකරණ ඉතිහාසයක් සහිත රටක් බව පවසන මුදල් ඇමැතිවරයා, රටේ සියලු පුරවැසියන් නීතියෙන් වරදකරුවකු කරනතුරු වරදකරුවකු නොවන පුද්ගලයකු ලෙස සැලකුම් ලබන වාතාවරණයක් සහිත රටකැයිද කියා සිටියි.

එවැනි වාතාවරණයක් පැවැති රටේ අද වනවිට කිසිදු සාක්ෂියක් නොමැතිව කෙනෙකු වරදකරුවකු බවට පූර්වයෙන් කීමට ඇතැමුන් ඉදිරිපත් වී ඇතැයි පෙන්වා දෙන මුදල් ඇමතිවරයා, ඇමැති මණ්ඩලයේ සාමාජිකයකු වන රිෂාඩ් බදුර්දීන් මහතාද වරදකරුවකු කර ඇතැයිද එවැනි හතරදෙනකු සිටී යැයි සමහරුන් චෝදනා කරයිද පෙන්වා දෙයි.

මේ අන්දමට තැන තැන චෝදනා නොකොට යම් පුද්ගලයකු වරදක් කර ඇත්නම් ඔවුන්ට එරෙහිව වන චෝදනා හා තොරතුරු මෑතකදී ඇරඹි විශේෂ ඒකකයන්ට ලබාදෙන්නැයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින බවද පෙන්වා දුන්නේය.

ඒ අනුව පොලිසිය විසින් යම් පුද්ගලයකුට එරෙහිව දැනට ලැබී ඇති සාක්ෂි අනුව නිසි පරීක්ෂණ සාධාරණ ලෙස නිමකොට අධිකරණ ක්‍රියාදාමයට අනුව ඉදිරි පියවර ගත යුතු අතර, එහිදී මෙරට අධිකරණ ක්ෂේත්‍රයේ කටයුතු කරන විනිසුරුවන්ට ඉතා ගෞරවනීය පූජනීය රාජකාරියක් ඉටුකිරීමට සිදුව ඇතැයි මුදල් ඇමැතිවරයා අවධාරණය කරනු ලබයි.

නීතිය ඉදිරියේ කිසිවෙකු වැරදිකරුවකු වූයේ නම් ඔහුට එරෙහිව දැඩි දඬුවම් ලබාදිය යුතු බව අවධාරණය කරන මංගල සමරවීර මහතා එසේ නොකොට මේ වනවිට රටේ තැන තැන ගෙන යන චෝදනා රැල්ල පදනම් විරහිත බව කියා සිටියි.

දැනටමත් ශ්‍රී ලංකා පොලිසිය හා ත්‍රිවිධ හමුදාව විසින් අන්තවාදී හා ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ වූවන් පිළිබඳ පරීක්ෂණ සිදුකරගෙන යනු ලබයි. එහිදී සුළු වශයෙන් හෝ ඒවාට සම්බන්ධ වූවන්ට දඬුවම් කිරීමට වාතාවරණය සලසා දී තිබේ.

මෙරට ඉතිහාසයේ කවරදාකවත් කිසිවෙකු නීතිය ඉදිරියේ වරදකරුවකු වීමට ප්‍රථම මාධ්‍යයෙන් හෝ පාර්ලිමේන්තුවේදී හෝ වරදකරුවකු ලෙස ප්‍රකාශ කොට නැතැයි පෙන්වා දෙන මංගල සමරවීර මහතා, එවැනි ප්‍රකාශවලින් පසු පොලිස් පරීක්ෂණ සිදුකොට නැතැයිද කියා සිටියි.

පොලිසියට අද වනවිට සිදුව තිබෙනුයේ කෙනෙකු චෝදනා කළ පසු පරීක්ෂණ සිදුකිරීමටයි.

අද වනවිට මෙරට මුස්ලිම් නායකත්වයට ත්‍රස්තවාදීන් ලෙස හැඳින්වීමේ අයහපත් වැඩපිළිවෙළක් පවතින බව පෙනෙන්නට තිබෙන බවත් අද ඔවුන්ට එරෙහිව එල්ල වන හා ඔවුන් ඉලක්ක කර ක්‍රියාත්මක දේ හෙට කාට එල්ල‍වේදැයි මංගල සමරවීර මහතා ප්‍රශ්න කර සිටියි.

නීතිය ඉදිරියේදී වරදකරුවකු වීමට ප්‍රථම කිසිවෙකු හට නඩු නැතිව දඬුවම් ලැබෙන්නට හැකියාවක් මතුවී තිබීම යහපත් දෙයක් නොවන බවද සමරවීර මහතා පෙන්වා දුන්නේය.

ඒ අන්දමට ජනතාව ක්‍රියා කරනුයේ දේශපාලඥයන්ගේ උසිගැන්වීම මත බවත්, එවැනි දේ සිදුකරමින් කුපිත වී ක්‍රියාකරන පිරිස් වෙත අප අනුකම්පා කළ යුතු බවත් මුදල් ඇමැතිවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *