මම ලංකාවට ආවේ සතුටින්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස තමන්ට සිදු කළ ආරාධනය පිළිගත්තේ මහත් සතුටින් බවත් ඉන්දියාව ශ්‍රී ලංකාව කෙරෙහි තබා ඇති විශ්වාසය ඉදිරියටද එලෙසම තිබෙන බවත් ඊයේ (9) දහවල් මෙරටට පැමිණ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවේ පැවසීය.

ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් ගුවන්තොටුපළේදී මහත් හරසරින් පිළිගන්නා ලදි. නරේන්ද්‍ර මෝදි මහතා රැගත් විශේෂ ගුවන් යානය ඊයේ පෙරවරු 11.00ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා විය. අමතර ආරක්ෂාව සඳහා තවත් ගුවන් යානයක්ද අග්‍රාමාත්‍යවරයා ගමන් ගත් ගුවන් යානය අසලින්ම ගමන් කළේය. හමුදා ගෞරවාචාර මධ්‍යයයේ අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා උණුසුම් අන්දමින් පිළිගෙන විශේෂ අමුත්තන්ගේ පර්යන්තය කරා කැඳවාගෙන එනු ලැබීය.

එහිදී විශේෂ අමුත්තන්ගේ සටහන් පොතෙහි සිය සටහන තැබූ නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එකම රථයකට ගොඩ වී කොළඹ බලා විශේෂ රිය පෙරහරකින් පිටත් වූයේ සුහද සාකච්ඡාවක නියැලෙමිනි. ‍ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සබඳතා තවදුරටත් පුළුල් හා ශක්තිමත් කරලීම සම්බන්ධව අග්‍රාමාත්‍යවරුන් දෙපළ අතර මෙහිදී සාකච්ඡාවට ලක් විය. දෙරට අතර අනාගත ආර්ථික අවකාශයන් නිර්මාණය කිරීම පිළිබඳවද අග්‍රාමාත්‍යවරු දීර්ඝ ලෙස අදහස් හුවමාරු කර ගත්හ. එහිදී දෙරටේ ද්විපාර්ශ්වික සබඳතාවන්හි වත්මන් ප්‍රගතිය පිළිබඳවත් ඉදිරි සැලසුම් පිළිබඳවත් අවධානය යොමු විය. ගෝලීය ත්‍රස්තවාදය හා ප්‍රතිත්‍රස්ත කාර්යයන් සම්බන්ධයෙන් ගත යුතු සාමූහික ක්‍රියා මාර්ග පිළිබඳවද මේ සාකච්ඡාවලදී අවධාරණය කෙරිණ.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පිළිගැනීමේ අවස්ථාවට නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ශ්‍රී තරංජිත් සිං සංධු යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් එක්ව සිටියහ.

මෙහිදී ඔවුහු කොළඹ කොච්චිකඩේ දේවස්ථානයේ සංචාරයකද නිරත වූහ. දේවස්ථානයට පැමිණි ඉන්දීය අගමැතිවරයා මල් කලඹක් තැන්පත් කරමින් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ ජනතාව වෙනුවෙන් සිය ගෞරවය පිරිනමනු ලැබූ අතර පසුව බෝම්බ ප්‍රහාරයට අළලා එහි ප්‍රදර්ශනයට තබා තිබු ඡායාරූපද නැරඹුවේය.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පසුගිය මැතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමි කර ගෙන සිය දෙවන පදවි ප්‍රාප්තියෙන් අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ප්‍රථම වරටය. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය එල්ලවීමෙන් පසු මෙරට සංචාරය කරන පළමු විදේශ රාජ්‍ය නායකයා වන්නේද ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විශේෂ ආරාධනය පරිදි දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ජනාධිපතිවරයා අතර නිල හමුව ඊයේ දහවල් ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. ජනාධිපති කාර්යාලය වෙත පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදි.

දෙවන වරටත් ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් නරේන්ද්‍ර මෝදි මහතාගේ පළමු රාජ්‍ය තාන්ත්‍රික හමුව වන්නේද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමයි. ජනාධිපති කාර්යාලයේ පැවති පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව ජනාධිපති මන්දිරය වෙත පැමිණි නායක දෙපළ එහිදී සාකච්ඡාවලට එක් වූහ. ත්‍රස්ත ප්‍රහාරයකට ලක්ව රට තුළ නොසන්සුකාරී තත්ත්වයක් මතුව ඇති අවස්ථාවක තම රටට පැමිණ ලෝකයට ලබාදුන් පණිවිඩය පිළිබඳ මෙහි දී පළමුව ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට සිය ස්තුතිය පිරිනැමීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී පෙන්වා දුන්නේ අසල්වාසී මිත්‍ර රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති ශක්තිමත් සහ විශ්වසනීය සබඳතාවය ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරයෙන් වඩාත් පිළිබිඹු වන බවයි. එමෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙම සංචාරය ශ්‍රී ලංකාවේ ආර්ථික, වෙළෙඳ මෙන්ම සංචාරක ක්ෂේත්‍රවල උන්නතියට වඩා යහපත් තත්ත්වයක් වනු ඇති බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙහිදී සඳහන් කර සිටියේ සහෝදර සහ මිත්‍ර රාජ්‍යයවල යුතුකම වන්නේ අසීරු අවස්ථාවල අත නොහැර එකිනෙකාට උපකාර කර ගැනීම බවයි. එමෙන්ම සියලු පාර්ශ්වයන්ගේ සහය ඇතිව සියලු ජන කොටස් වෙනුවෙන් යුතුකම් ඉටු කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රට තුළ ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳවද නරේන්ද්‍ර මෝදි මහතා සිය සතුට පළ කළේය.

දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ඉහළ නංවාගැනීම සහ කලාපීය ආරක්ෂාව මෙන්ම සාමය සහ ස්ථාවරත්වය පිළිබඳවද නායක දෙපළ අතර සාකච්ඡා පැවැත්විණි. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යන දෙරටම ත්‍රස්ත ප්‍රහාරවලට ලක් වූ රටවල් වන අතර කුමන අන්දමේ හෝ ත්‍රස්ත ප්‍රහාරයක් තරයේ හෙළා දකින බව අවධාරණය කළ නායකයෝ ත්‍රස්තවාදය දුරලීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව වැඩිදියුණු කළයුතු බවටද එකඟ වූහ.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන ගැඹුරු මිත්‍රත්වය පදනම් වී ඇත්තේ අන්යෝන්‍ය විශ්වාසය, ගරුත්වය සහ එකිනෙකාට සහය දැක්වීමේ ප්‍රතිපත්තිය මත බව ද මෙහිදී සඳහන් කෙරිණි. තමන් වෙත දැක්වූ උණුසුම් පිළිගැනීම සහ සත්කාර පිළිබඳ ජනාධිපතිවරයා වෙතත් ශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙතත් සිය ස්තූතිය පුද කිරීමට ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙහිදී කටයුතු කළේය. මේ අතර මෙම සංචාරය සනිටුහන් කරමින් ජනාධිපති මන්දිර පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමට ද නායක දෙපළ එක් වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *