මට සහරාන් හමු වෙලා තියෙනවා – හිස්බුල්ලා සාක්ෂි දෙයි

(කොළඹ, ලංකාපුවත්) – පාස්කු ඉරිදා ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වන සහරාන් නැමැත්තා එක් වතාවක් තමා හමු වී ඇති බවත් 2015දී පාර්ලිමේන්තු මැතිවරණයේ නාමයෝජනා බාරදී අවසන් වූ විට සියලු මුස්ලිම් අපේක්ෂකයන්ට සහරාන් ඔහුගේ කාර්යාලයට පැමිණෙන ලෙස ආරාධනා කළ බවත් තමා ඇතුළු එවකට මුස්ලිම් දේශපාලනඥයන් ඔහු මුණගැසී කතා කළ බවත් නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා පැවසීය.

හිස්බුල්ලා මහතා මේ බව පැවසුවේ ඊයේ (13) අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳව සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දෙමිනි.

සහරාන් එවක ජාතික තව්හිද් ජමාද් නැමති සංවිධානය පිහිටුවා ගනිමින් ආගමික මතවාදියෙකු ලෙස කටයුතු කළ බවත්, ඔහු ඒ අවධියේ ත්‍රස්තවාදියෙකු නොවූ බවත් හිස්බුල්ලා මහතා එහිදී පැවසුවේය.

රැස්වීම්වල ගීත ප්‍රචාරය නොකළ යුතු යැයි සහ කාන්තාවන් හා පිරිමින් එක්ව රැලිවලට සහභාගි කර නොගත යුතු යැයි සහරාන් කොන්දේසි ඉදිරිපත් කළ බවත් ඡන්ද ලබා ගැනීමට අවැසි නිසා එම කොන්දේසිවලට එකඟතාව දැක්වූ බවත් ඔහු පැවසුවේය. පසුව එම කොන්දේසි කඩ කිරීම හේතුවෙන් තමා සමඟ සහරාන් විරසක වූ බව පැවසූ ඔහු, ඉන් පසුව සහරාන් තමන්ට විරුද්ධව කටයුතු කොට තමාගේ ඡන්ද 2,000ක් පමණ අඩු කරමින් තමන් පරාජය කරවීමට කටයුතු කළ බවද පැවසීය.

කෙසේ වෙතත් 2017 මාර්තු මාසයෙන් පසුව සහරාන් දැකගත නොහැකි වූ බවද ඔහු කිසි විටෙක තමාට උදව් නොකළ බවද තමාද සහරාන්ට උදව් කර නොමැති බවද සහරාන් තමා විනාශ කිරීමට පැමිණි අයෙක් බවද හුස්බුල්ලා මහතා තවදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *