ශ්‍රී ලංකාව සියලු අන්තවාදයන් පිටුදකින රටක්- කථානායකවරයා ඉස්ලාමීය රටවල තානාපතිවරුන් හමුවේ පවසයි

(කොළඹ, ලංකාපුවත්) – ත්‍රස්තවාදය කෙටි කලක් තුළ මුළුමනින්ම පාහේ අකර්මන්‍ය කර ආරක්ෂාව තහවුරු කළ ලෙසටම ශ්‍රී ලංකාව සියලුම අන්තවාදයන් පිටුදැක නොබෝ දිනකින්ම යළි සමඟි සම්පන්න ශක්තිමත් දේශයක් ලෙස නැගී සිටිනු ඇතැයි කථානායකවරයා ඉස්ලාම් රටවල් 17ක තානාපතිවරු හමුවේ කියා සිටියේය. මෙම විශේෂ හමුව පසුගිය 11 වැනි දින පාර්ලිමේන්තුවේදී පැවැත්විණ.

පාර්ලිමේන්තුව අදාළ ආංශික කාරකසභා සහ අමාත්‍යාංශ සම්බන්ධීකරණය කරමින් ත්‍රස්තවාදය හා ඊට අවශ්‍ය පෝෂණය ලබා දෙන අන්තවාදය පිටුදැකීමට පැහැදිලි නීති සම්පාදනය කරමින් සිටින බවත්, එක රටත් තුළ එක් නීතියක් යටතේ එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස ජීවත්වීමට ඉන් පදනම සැලසෙනු ඇතැයි තමා විශ්වාස කරන බවත් එහිදී කථානායකවරයා පැවසීය. විශේෂයෙන්ම ආගමට මුවා වී සිදු කරන අන්තවාදී ක්‍රියාවලියත්, ළමා විවාහ, බහුවිවාහ මෙන්ම අනන්‍යතාව වසන් කරන විලාසිතා සහ අන්තවාදය පෝෂණය කරන අධ්‍යාපන ආයතන සම්බන්ධව පියවර ගැනීමේදී ඉස්ලාම් නායකයන් මෙන්ම සාමකාමී බහුතර ඉස්ලාම් ජනතාවගෙන් ලැබුණ සහාය හා මඟපෙන්වීම කෘතවේදීව සිහිපත් කරන බවද කථානායකවරයා පැවසීය.

ශ්‍රී ලංකාව තුළ කවර ජාති, ආගම් ජීවත් වුවද සියල්ලන්ටම බලපාන පොදු නීතියක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව තමන්ද අවිවාදයෙන් පිළිගන්නා බව මෙහිදී ඉස්ලාම් රටවල තානාපතිවරු පැවසූහ.

එමෙන්ම මද්‍රසා පාසල් සහ ආගමික අධ්‍යාපන ආයතන රජයේ අධීක්ෂණය යටතට පත්වීමද වැදගත් අවශ්‍යතාවක් බව එම තානාපතිවරු සඳහන් කළහ. වෛරී කථනය හා සමාජ මාධ්‍ය මඟින් පතුරවන වෛරී අදහස් පාලනයට පියවර ගැනීමේ වැදගත්කමද මෙහිදී ඔවුහු පෙන්වා දුන්හ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *