රාජ්‍ය සේවකයන්ට ජූලි මස සහන රැසක්

(කොළඹ, ලංකාපුවත්) – ජුනි මස අවසානයේ සිට සියලු රාජ්‍ය සේවකයන්ට දැනට ලැබෙන රුපියල් 7,800ක ජීවන වියදම් දීමනාවට අමතරව අලුතින් රුපියල් 2,500ක අන්තර් දීමනාවක් ලබා දීමට කටයුතු කරන බව ඊයේ (18) පාර්ලිමේන්තුව අමතමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.

සියලු රාජ්‍ය සේවකයන්ගේ මාසික වැටුප වසර 5ක කාලයකු තුළ දෙගුණයක් කිරීමට කටයුතු කළ බවත් කිසිදු ආණ්ඩුවක් එසේ වැටුප් වැඩි කිරීමක් නොකළ බවත් මුදල් අමාත්‍යවරයා එහිදී පැවසීය.

මීට අමතරව 2015න් පසු විශ්‍රාම ගත් සියලුදෙනාට දැනට ජීවන වියදම් දීමනාවට අමතරව ගෙවන රුපියල් 3,525ක දීමනාවට අතිරේකව නව අන්තර් දීමනාවක් ලෙස රුපියල් 3,500ක් ලබාදෙන බවත් 2015 දෙසැම්බර් මාසයට කලින් විශ්‍රාම ගත් රජයේ සේවකයන් ලක්ෂ පහ මාරකට වැඩි සංඛ්‍යාවකට මේ මාසයේ අග වන විට සැලකිය යුතු විශ්‍රාම වැටුප් වැඩිවීමක් ලබාදෙන බවත් මුදල් අමාත්‍යවරයා එහිදී පැවසීය.

තවද ජුනි මාසයේ අග සිට හමුදාවල යහපත් හැසිරීමේ දීමනා (Good Conduct Allowance) මෙන්ම නිල ඇඳුම් දීමනාත් වැඩි කිරීමට කටයුතු කර ඇති බව මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පැවසීය.

“රජයේ ලියාපදිංචි විශේෂ හැකියාවන් සහිත (Differently Abled) පුද්ගලයින් 32,000ක් දැනට ඉන්නවා. ඔවුන් එක් අයෙකුට රජයෙන් මාසෙකට රුපියල් 3,000ක මාසික දීමනාවක් ගෙවනවා. ජුනි මාසෙ අවසානයේ ඉඳන් ඔවුන්ගේ දීමනාව රුපියල් 5,000ක් දක්වා වැඩි කළා. ඒ වගේම ප්‍රතිලාභ ලැබෙන පිරිස 32,000 ඉඳලා 72,000ක් දක්වා ඉහළ දැම්මා. මෙතුළින් අතිරේක පුද්ගලයින් 40,000ක් අලුතින් ප්‍රතිලාභ ලැබෙන අය බවට පත් වුණා. දේශපාලන අතකොළු බවට පත්ව සිටි සමෘද්ධි ප්‍රතිලාභී ජනතාව වෙත ඉතිහාසයේ පළමු වතාවට ඔවුන්ගේ බැංකු අනිවාර්ය ඉතිරි කිරීම්වලින් රුපියල් 15,000ක මුදලක් අප්‍රේල් මාසයේ ලබා දුන්නා. ඒ වගේම මේ වෙනකොට දේශපාලනය නිසා කොන් කර තිබූ ලක්ෂ හයක ජනතාවක් වෙත අලුතින් සමෘද්ධි ප්‍රතිලාභ ලබාදීම පටන්ගත්තා. මීට අමතරව රජය නිදන්ගත වකුගඩු රෝගයෙන් පෙළෙන රෝගීන්ට ලබාදෙන රුපියල් 5,000ක මුදල රෝගීන් 21,000 සිට 26,000 ක ප්‍රමාණයට වැඩි කරමින් පොරොත්තු ලේඛනය අහෝසි කළා.” යැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා එහිදී පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *