සුවසැරිය දිවයිනම ආවරණය කරයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ පූර්ව රෝහල් හදිසි ප්‍රතිකාර සේවාව විප්ලවීය මාවතකට අවතීර්ණ කළ 1990 සුවසැරිය ගිලන්රථ සේවාව එහි නිර්මාතෘ, ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) සමස්ත ශ්‍රී ලංකාවම ආවරණය කිරීමේ ඓතිහාසික අවස්ථාව අම්පාර නගරයේදී සනිටුහන් කළේය.

මේ ආකාරයෙන් 1990 සුවසැරිය ගිලන්රථ සේවාව සමස්ත ශ්‍රී ලංකාවම ආවරණය කළේ මෙම සේවාව මේ දිනයේදී නැගෙනහිර පළාතේ ආරම්භ කරමිනි. ඊයේ පෙරවරුවේ අම්පාර නගරයේ පැවති මෙම උත්සව අවස්ථාවට ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය දයා ගමගේ මහතා සහ ඛනිජතෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය ඇමැතිනී අනෝමා ගමගේ මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී විය. මෙම සේවාව මුල් වරට 2016 ජූලි මාසයේදී දකුණ සහ බස්නාහිර පළාතේ ආරම්භ කළ අතර පසුව සෙසු පළාත්වලද ක්‍රමයෙන් ආරම්භ කළේය.

මෙම සේවාව සමස්ත ශ්‍රී ලංකාවම ආවරණය කිරීමත් සමඟ දිවයින පුරා 1990 සුවසැරිය ගිලර් රථ 297ක් ක්‍රියාත්මක වේ. මින් ගිලන් රථ 27 ක්‍රියාත්මක වන්නේ අද දිනයේදී මෙම සේවාව ආරම්භ කළ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය, මඩකළපුව සහ අම්පාර යන දිස්ත්‍රික්කවලයි. මේ දක්වා මෙම සේවාව දුරකතන ඇමතුම් 1,133,344 කට ක්ෂණිකව ප්‍රතිචාර දක්වා 219371ක් ගිලන්රථ පිටත් කර යවා මිනිත්තු 12.58 ක් වැනි සාමාන්‍ය කාලයක් තුළ රෝගියා වෙත ළඟාවී හදිසි ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් 198,223ක් රෝහල් කරා රැගෙන ගොස් තිබේ. මීට අමතරව, මෙම ගිලන්රථ තුළ මේ වන විට දරු උපත් 89ක් සිදුවී ඇත.

1990 සුවසැරිය ගිලන්රථ සේවාව සමස්ත ශ්‍රී ලංකාවම ආවරණය කිරීමේ ඓතිහාසික අවස්ථාවේදී අදහස් දක්වමින් එම සේවාවේ නිර්මාතෘ, ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙසේ අදහස් දැක්වීය.

“ඇත්ත වශයෙන්ම සුවසැරිය කණ්ඩායම ලෙස අපට අද සුවිශේෂී දවසක්. අභි‍යෝග මැදින් ආරම්භ කළ ගමනක ජය කණුව වෙත අපි අද පැමිණීමට සමත්වී තිබෙනවා. මෙම සේවාව මෙතරම් සාර්ථක වී තිබෙන්නේ අපගේ සුවසැරිය කණ්ඩායමේ සාමාජිකයින්ගේ දැඩි කැපවීම නිසයි. ඔවුන් සුවසැරිය වෙනුවෙන් වැඩ කරන්නේ රැකියාවකට එහා ගිය ජාතික සේවාවක් ලෙස හිතලයි. මෙම කණ්ඩායමේ නායකයා ලෙස මම ඔවුන් ලබාදෙන සේවාව පිළිබඳව ආඩම්බර වෙනවා. ඉදිරියේදී මෙම සේවාව අපේ රටේ ජනතාවගේ ජීවිත බේරා ගැනීම සඳහා තව තවත් දියුණු කර ඉදිරියට අරගෙන යනවා”

දින 365 පුරාම දිවා රෑ කිසිදු ගාස්තුවක් අය නොකරමින් නොමිලේ සේවාව ලබාදෙන 1990 සුවසැරිය පසුගියදා නව හදිසි මෙහෙයුම් කළමනාකරණ පද්ධතිය (Emcrgcncy Dispatch Managcmcnt System – EDM) සහ සුවිශේෂී 1990 ජංගම දුරකතන ඇප් ‍සේවාවද හඳුන්වා දුන්නේ ය.

මෙම සේවාව ශ්‍රී ලංකාව පුරාම ආරම්භ කිරීම සඳහා ඉන්දියාව ඇමරිකානු ඩොලර් මිලියන 22. 5ක යළි නොගෙවිය යුතු ප්‍රදානයක් ලබාදුන් අතර 2018 වසරේදී පාර්ලිමේන්තු පනතක් මගින් සුවසැරිය පදනම ආරම්භ කරමින් මෙම සේවාවේ මෙහෙයුම් කටයුතු සුවසැරිය පදනමට පැවරීමෙන් පසුව මෙම සේවාව මේ වනවිට ‍මෙරට රජයට පූර්ණ අනුබද්ධ සේවාවක් ලෙස ක්‍රියාත්මක වේ. සම්පූර්ණයෙන්ම රජයට අයත් සුවසැරිය පදනම ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍යාංශය යටතේ මේ වන විට ක්‍රියාත්මක වේ. සුවසැරිය පදනම සඳහා සාමාජිකයින් ජනාධිපතිවරයා විසින් පත්කර තිබෙන අතර මේ වනවිට මෙරට තරුණ දරුවන් 1,428ක් සුවසැරිය පදනම යටතේ රැකියා අවස්ථා හිමිකරගෙන තිබේ.

මෙම සභාව අමතා ඉන්දියානු මහ කොමසාරිස් සරංජින් සිං මහතා ද කතා කළ අතර පිළිගැනීමේ කතාව අම්පාර මහ දිසාපති ඩී.එම්.එල්. බණ්ඩාරනායක මහතා විසින් සිදු කරන ලදී.

මේ අවස්ථාවට නියෝජ්‍ය ඇමතිනි අනෝමා ගමගේ , හිටපු නියෝජ්‍ය ඇමති ෆයිසාල් කාසිම්, නැගෙනහිර පළාත් සභා සභාපති චන්ද්‍රදාස ගලප්පත්ති යන මහත්ම මහත්මීන් ද එක් වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *