පොලිස්පතිගේ පෙත්සම සලකා බැලිම ජුලි 31ට කල් තැබෙයි

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපතිවරයා විසින් තමන්ව අනිවාර්යය නිවාඩු යැවීමට ගත් තීරණය ආණ්ඩුකම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ජූලි මස 31 දා සලකා බලන බව ශ්‍රේෂ්ඨාධිකරණය නියම ක‍ළේය.

මෙම පෙත්සම අද(24) ප්‍රසන්න ජයවර්ධන, එල්.ටී.බී. දෙහිදෙණිය සහ එස්. තුරෙයිරාජා යන විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබුවේය.

මෙහිදී තිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජෙනරාල් ඉන්දිකා දේවමුණි ද සිල්වා මහත්මිය අධිකරණයට දන්වා සිටියේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින ජනාධිපති ලේකම් සහ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ යන පාර්ශව විසින් විරෝධය දක්වමින් අධිකරණය හමුවේ දිවුරුම් පෙත්සම් ඉදිරිපත් කර ඇති බවයි.

එම දිවුරුම් පෙත්සම් වල පිටපත් තමන් වෙත ලැබී නොමැති බව පෙත්සම්කාර පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ විරාන් කොරයා මහතා අධිකරණයට දන්වා සිටියාය.

එමෙන්ම අදාළ ලේඛන විනිසුරුවරුන්ගේ ගොනුවලට ද මෙතෙක් ඇතුළත් වී නොමැති බව මෙහිදී විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා පෙන්වා දුන්නේය.

ඒ අනුව පෙත්සම සලකා බැලීම ජුලි මස 31 දා සිදු කරන බව නියෝග කළ ත්‍රිපුද්ගල විනිසුරුවරු එදිනට මේ සම්බන්ධයෙන් කරුණු දක්වන්නැයි දෙපාර්ශවය නීතිඥවරුන්ට දන්වා සිටියේය.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා ද ජාතික බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සිසිර මැන්ඩිස් මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශානක රණසිංහ මහතා ද අධිකරණය හමුවේ පෙනී සිටියාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *