ශ‍්‍රී ලංකා කණ්ඩායම අභිබවමින් බංග්ලාදේශ පිළ ඉදිරියට

(කොළඹ, ලංකාපුවත්) – ශ‍්‍රී ලංකාව අභිබවමින් මෙවර ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ප‍්‍රසාද ලකුණු සටහනේ 5 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට බංග්ලාදේශය සමත්වෙයි. ඒ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව ඊයේ (24) ලද ලකුණු 62ක ජයග‍්‍රහණයත් සමගිනි.

ඒ අනුව ශී‍්‍ර ලංකාව මේ වනවිට එම සටහනේ පසුවන්නේ 6 වන ස්ථානයේය.

ඊයේ පැවති තරගයේදී ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලූ 7ක් දැවී ලකුණු 262ක් රැස් කිරීමට සමත්විය.

එම ඉලක්කය හඹාගිය ඇෆ්ගනිස්තාන කණ්ඩායමට පන්දුවාර 47ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 200ක් පමණි.

මෙම තරගයේදී තුන් ඉරියව්වෙන් දස්කම් දැක්වූ බංග්ලාදේශ කී‍්‍රඩක ශකීබ් අල් හසන් වාර්තා කිහිපයක්ම තැබීමට සමත් වීම කැපී පෙනුණි. මෙහිදී ශකීබ් අල් හසන් ලකුණු 51ක් සහ කඩුලූ 5ක් දවා ගැනීමට සමත්වුණේ බංග්ලාදේශ ජයග‍්‍රහණයේ නියමුවා බවට පත් වෙමිනි. ලෝක කුසලාන තරගයක කඩුලූ 5ක් සහ අර්ධ ශතකයක් වාර්තා කළ දෙවන කී‍්‍රඩකයා ලෙස ද ඔහු මෙම තරගයේදී වාර්තා පොත් අතරට එක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *