රජරට සිසුන් දෙදෙනකුට ජාත්‍යන්තර සම්මාන

(කොළඹ, ලංකාපුවත්) –අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය විසින් සංවිධානය කරන ලද පර්යේෂණ නිබන්ධන තරගාවලියෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය දිනාගැනීමට අනුරාධපුර මැදි විදුහලේ කළණ විජේවර්ධන සිසුවා සහ ඔහුගේ සොහොයුරිය වූ හසිනි විජේවර්ධන සිසුවිය සමත් විය.

පර්යේෂකයන් 1500කට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වූ මෙම තරගාවලිය ජය ගැනීමෙන් අනතුරුව ඔවුහු දෙදෙනා පසුගිය 20 වැනිදා මැලේසියාවේ ක්වාලාම්පූර්හි පැවැති 26 වැනි ජාත්‍යන්තර තරුණ විද්‍යාභිවර්ධන සමුළුවට සහභාගි වූහ. එහිදී ඔවුන් රටවල් 32ක සහභාගිත්වයෙන් පැවති මෙම තරගයේදී පර්යේෂණ නිබන්ධන 272ක් අතුරින් පාරිසරික විද්‍යා අංශයෙන් තෙවන ස්ථානය දිනා ගැනීමට සමත්ව ඇත.

‘Lantana camara’ ශාකයේ ‘ඇලලෝපති’ විභවය භාවිත කරමින් පරිසර හිතකාමී වල්නාශකයක් නිපදවීම මොවුන් දෙදෙනාගේ මෙම ජයග්‍රහණයට හේතු විය. වත්මන් ලෝකයේ රසායනික වල්නාශක භාවිතයෙන් සිදු වන හානි අවම කර ස්වාභාවික පරිසරයෙන් නිපදවන පරිසර හිතකාමී වල්නාශකයක් විකල්ප ලෙස යොදා ගැනීම මෙහි සුවිශේෂත්වයයි.

මොවුන්ගේ මෙම පර්යේෂණයට Emeralds Young Researchers Club හි ප්‍රධාන අධීක්ෂක ලෙස කටයුතු කරන ඩබ්ලිව්. ඒ. එම්. නිසංසලා සුදර්ශනී ධනපාල මහත්මියත්, රජරට විශ්වවිද්‍යාලයේ සහකාර කථිකාචාර්ය අනසියා නිසාමනී මහත්මියත්, ආචාර්ය නදීන් තරංග මහතාත් සිය දැනුමෙන් සහයෝගය දක්වා ඇත. සිසුන් දෙදෙනාගේ දෙමාපියන් වන්නේද රජරට විශ්වවිද්‍යාලයේ කළමණාකරණ පීඨයේ පීඨාධිපති පර්සි විජේවර්ධන මහතා සහ වෛද්‍ය ඉන්දිකා කැල්ලේපත මහත්මිය වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *