ජාත්‍යන්තරය ශ්‍රී ලංකාවට උපකාර කරන හැටි අගමැති කියයි

(කොළඹ, ලංකාපුවත්) –අන්තවාදීන්ගේ බෝම්බ ප්‍රහාරයෙන් පසුව මහබැංකු අධිපතිවරයා මේ රටේ ආර්ථිකය දියුණු කිරීමට ඩොලර් මිලියන 2000ක් සොයා ගැනීමට ජාත්‍යන්තරයට ගිය විට දී ජාත්‍යන්තරය විසින් ඩොලර් මිලියන 6000ක් ලබාදුන් බවත් එයින් ඩොලර් මිලියන 2000ක් පමණක් රජය ලබාගත් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

පානදුර, ආතර් වී දියස් නාගරික උද්‍යානය හා පානදුර දුම්රියපොළ චතුරස්‍රය ජනසතු කිරීම වෙනුවෙන් ඊයේ (25) පැවැති උත්සවයට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

අන්තවාදී ප්‍රහාරයෙන් පසුව මේ රටේ ආරක්ෂක අංශ සහ ආණ්ඩුව ගෙන ගිය කඩිනම් වැඩපිළිවෙළ ජාත්‍යන්තරයේ පැසසුමට ලක්වී තිබෙන බවද වික්‍රමසිංහ මහතා අනාවරණය කළේය.

ශ්‍රී ලංකා රජය ගෙනගිය ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙළ ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාවේ විශ්වාසනීය බව ගොඩනගාගෙන ඇති බැවින් එම මුදල් ලබා ගැනීමට හැකි වූ බවද හෙතෙම කීවේය.

මේ මුදල්වලින් දැනට බිඳ වැටී තිබෙන සංචාරක ව්‍යාපාරය ගොඩනැගීමට කටයුතු කරන බවත් ලබන ඇසල මාසයේ දී සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයක් අපේක්ෂා කරන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මහා නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක, ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ කැබිනට් නොවන ඇමැති අජිත් පී. පෙරේරා, පානදුර නගරාධිපති නන්දන ගුණතිලක මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty + 7 =