මාස 6ට කුඩු කිලෝ 1029.2ක් අල්ලයි

(කොළඹ, ලංකාපුවත්) –මෙම වසරේ ගෙවී ගිය මාස හයක කාලය තුළදී ආරක්ෂක අංශ සිදු කළ මෙහෙයුම්වලින් හෙරෝයින් කිලෝග්‍රෑම් 1029.9ක ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 20,309ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.

2010 සිට 2018 වසර දක්වා කාලය තුළදී එක් වසරකදී අත්අඩංගුවට පත් හෙරොයින් ප්‍රමාණය අබිබවා යමින් 2019 මුල් මාස 6 තුළ මෙම හෙරෝයින් ප්‍රමාණය අත්අඩංගුවට ගෙන ඇත. 2010 – 2018 කාලය තුළ හෙරෝයින් කිලෝග්‍රෑම් 1950.9ක් සමඟ පුද්ගලයන් 208,643ක් අත්අඩංගුවට ගෙන තිබේ.

මත්කුඩු සහ මත්ද්‍රව්‍ය රටෙන් තුරන් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දියත් කර ඇති වැඩපිළිවෙළට අනුව ගෙවීගිය වසර 4ක කාලය තුළදී හෙරොයින් ළඟ තබා ගත් පුද්ගලයන් මෙන්ම හෙරොයින් විශාල වශයෙන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

ඒ අනුව 2018 වසරේදී හෙරොයින් කිලෝග්‍රෑම් 737ක් සමඟ සැකකරුවන් 40,987ක්ද, 2017 වසරේදී හෙරොයින් කිලෝග්‍රෑම් 278.3 ක් සමඟ සැකකරුවන් 29,272ක්ද, 2016 වසරේදී හෙරොයින් කිලෝග්‍රෑම් 196.8ක් සමඟ සැකකරුවන් 27,458ක්ද 2015 වසරේදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 40.5ක් සමඟ සැකකරුවන් 26,047ක්ද අත්අඩංගුවට ගෙන ඇත.

එසේම 2014 වසරේදී හෙරොයින් කිලෝග්‍රෑම් 181.5ක් සමඟ සැකකරුවන් 22,997ක්ද, 2013 වසරේදී හෙරොයින් කිලෝග්‍රෑම් 315.5ක් සමඟ සැකකරුවන් 23,114ක්ද, 2012 වසරේදී හෙරොයින් කිලෝග්‍රෑම් 30.6ක් සමඟ සැකකරුවන් 15,968ක්ද, 2011 වසරේදී හෙරොයින් කිලෝග්‍රෑම් 31.2 ක් සමඟ සැකකරුවන් 13876ක් සහ 2010 වසරේදී හෙරොයින් කිලෝග්‍රෑම් 139.5ක් සමඟ සැකකරුවන් 8,924ක්ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

එසේම ඊයේ කළ විමසීමකදී නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඉසුරු සූරියබණ්ඩාර මහතා කියා සිටියේ 2019 වසරේ මුල් මාස 6 තුළ පමණක් බීඩිකොළ කිලෝග්‍රෑම් 18,692ක් සහ කේරළ ගංජා කිලෝග්‍රෑම් 2,038.32ක් අත්අඩංගුවට ගත් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *