නිදහස් අධ්‍යාපනයේ ‘නිම්වළලු පුළුල් කෙරෙන’ ජුලි 04

(කොළඹ, ලංකාපුවත්) –මෙරට නූතන ඉතිහාසය තුළ ඇති වූ වැදගත් ම සමාජ විප්ලවය නිදහස් අධ්‍යාපනය ඇතිකිරීමයි.

එහි ප්‍රතිඵලය වූයේ එතෙක් රට තුළ පැවති සාක්ෂරතා මට්ටමේ වේගවත් වර්ධනයක් සිදුවීමයි.

එහෙත් පසුකාලීන ව, විවිධ හේතු ගණනාවක් මත රටේ සියලු දරුවන්ට අයිතිව පැවති අධ්‍යාපන පහසුකම් හා වරප්‍රසාද නගරාශ්‍රිත පාසල් කිහිපයක් වටා පමණක් කේන්ද්‍රගත වීම මඟින් සිදුවූයේ සමාන ව පැවැත්වෙන ජාතික විභාග සඳහා අසාධාරණ හා අසමාන පහසුකම් යටතේ තරගකිරීමට එම පහසුකම් නැති දරුවන්ට සිදුවීමයි.

තම දරුවන්ට ඉහළ ගුණාත්මකබවින් යුත් අධ්‍යාපනයක් ලබාදීම හැම මවකගේ ම හැම පියෙකුගේම බලාපොරොත්තුවයි.

පහසුකම් සහිත, ජනප්‍රිය යැයි සම්මත පාසල් ප්‍රමාණය අතළොස්සක් බවට පත්ව තිබූ අතර එම පාසල් කිහිපයට කෙසේ හෝ තම දරුවා ඇතුළත් කරගැනීමේ අරගලයක යෙදෙන්නට මේ නිසා දෙමව්පියන්ට සිදුවිය.

සම්මත නීති රීති යටතේ විධිමත්ව, නීත්‍යානුකූල ව ඇතුළත් කිරීමේ කටයුතු කළ නොහැකි වූ විට ව්‍යාජ ලිපි ලේඛන සකස් කරමින් හෝ, අල්ලස් දෙමින් හෝ මේ තරගකාරී අරගලයට එක්වන්නට දෙමව්පියන්ට සිදුවිය. සම්මුඛ පරීක්ෂණවලට පෙනී සිටිනවිට දරුවන්ට පවා බොරු උගන්වන්නට තරම් දෙමව්පියන්ගේ මානසික මට්ටම පිරිහී ගිය අතර, අවසානයේ එහි ප්‍රතිඵලය ලෙස දිගුකාලීන ව නොවිසඳුණු අර්බුදයක් අධ්‍යාපන පද්ධතිය තුළ නිර්මාණය විය. විවිධ රජයන් යටතේ විවිධ අධ්‍යාපන අමාත්‍යවරුන් යටතේ විවිධාකාර විසඳුම් සහ ක්‍රියාමාර්ග මේ වෙනුවෙන් ක්‍රියාවට නැංවූ නමුත්, සැලකිය යුතු ප්‍රතිඵලයක් ඒවායින් නොලැබී තිබුණි.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අධ්‍යාපන විෂය භාර අමාත්‍යවරයා වශයෙන් 2015 වසරේ සිය ධූරයෙහි රාජකාරී ආරම්භ කරනවිට ද තත්වය එසේ ම පැවතිණි. අධ්‍යාපන පද්ධතිය තුළ කාලාන්තරයක් තිස්සේ ඔඩුදුවමින් පැවති මෙම අර්බුදයට එක රැයින් සෙවිය හැකි විසඳුමක් නොවිණි.

එහෙත් ඉදිරි වසර 20ක් 30ක් එපිට ඇති අනාගතය අනුමාන කරමින්, ඒ වනවිට රටක් වශයෙන් අප සිටිය යුතු තැන, අපේ දරුවන් අත්පත්කරගත යුතු දේ, සහ මෙරට පාසල් අධ්‍යාපන පද්ධතිය තුළ සිදුවිය යුතු වෙනස්කම් ආදී සියල්ල කෙරෙහි පූර්ණ අවධානය යොමු කරමින්, අනාගතයට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක් ගොඩනැගීමේ අවශ්‍යතාව කෙරෙහි අමාත්‍යවරයාගේ පූර්ණ අවධානය යොමු කෙරිණි.

නගරාසන්නව පවතින පාසල් අතළොස්සකට පමණක් දරුවන් ඇතුළත් කිරීමට දෙමව්පියන් දරන පරිශ්‍රමය නතර කරන්නට හෝ එය ප්‍රතික්ෂේප කරන්නට හැකිවන්නේ ඊට සාධාරණ හේතු පාසල් පද්ධතිය තුළ ගොඩනැංවීමෙන් පමණි. කවර හෝ පාසලක් ජනප්‍රිය පාසලක් බවට පත්වන්නේ සෑම විෂයයකට ම ගුරුවරුන්, ක්‍රීඩාගාර, විද්‍යාගාර, රසායනාගාර, පුස්තකාල, සෞන්දර්ය ඒකක ඇතුළු පහසුකම් සහ දක්ෂ විදුහල්පතිවරයෙක් සිටීමෙනි.

සිසුන්ගේ කාර්යසාධන මට්ටම ඉහළින් පවත්වාගැනීමෙනි. ජාතික මට්ටමේ සහ ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ පාසලට අත්පත් කරදෙන දරුවන් පාසලක සිටීමෙනි. මේ තත්වය ඇතිකිරීමට සමත් වටපිටාව පාසලක ගොඩනැංවීමේ දී ඕනෑම පාසලක් ජනප්‍රිය වෙයි.

දවසේ පැය ගණනින් සැලකිය යුත් ප්‍රමාණයක් මගතොටට වැය කරමින්, දරුවන්ගේ පාසල් ගමන විඩාබර එකක් බවට පත්කරමින් ජනප්‍රිය පාසල් වෙනුවෙන් නගර කරා යාමේ ප්‍රවණතාව ඉවත් කරලීමට හොද ම පිළිතුර පහසුකම් සහිත ජනප්‍රිය පාසල් බවට ගමේ පාසල් පත්කිරීමම පමණි. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ළගම පාසල -හොදම පාසල ව්‍යාපෘතිය ක්‍රියාවට නංවනු ලැබුවේ ඒ වෙනුවෙනි.

පාසල් ඉදිකිරීම වෙනුවෙන් ඉතිහාසයේ මෙතෙක් එකවර සිදුකළ විශාලත ම මූල්‍ය ආයෝජනය සිදුකරමින් සෑම දරුවෙකුට ම තමන් පදිංචි ස්ථානයේ සිට ළඟම පාසල දරුවාට ඇතුළත් විය හැකි හොඳම පාසල බවට පත්කිරීමේ දැවැන්ත වැඩසටහන ඒ අනුව ආරම්භ කෙරිණි.

ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ තවත් පාසල් ගොඩනැගිලි 250ක් එකම දිනකදී සිසු අයිතියට පත් කිරීම ජුලි මස 04 වන දින සිදු වනවා.

එහි ප්‍රධාන උත්සවය පැවැත්වෙන්නේ පේරාදෙණිය ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ පරිශ්‍රයේදීයි.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ආරාධනයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවස්ථාවට එක්වනු ඇත.

ඒ අනුව ජුලි 4වන දිනය මෙරට අධ්‍යාපනයේ නොමැකෙන සටහනක් තබනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *