ලංකා විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබාදීමට ඛනිජ තෙල් සංස්ථාව එකඟතාවයකට

(කොළඹ, ලංකාපුවත්) – ලංකා විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබාදීමට ඛනිජ තෙල් සංස්ථාව එකඟතාවයකට පැමිණි බවත් විදුලි සැපයුමට කිසිදු බාධාවක් නොමැති බවත් විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසීය.

ඒ මහතා මෙසේද වැඩිදුරටත් කියා සිටියේය.

“ඊයේ දිනයේදි ලංවිම තාප විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඉන්ධන ලබාදීම, ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් අත්හිටුවීමට කටයුතු කරනු ලැබුවා. මෙයට හේතුව වන්නේ ඉන්ධන ලබාගැනීම සදහා ලංකා විදුලබල මණ්ඩලයට ඛනිජ තෙල් සංස්ථාව විසින් ලබාදී තිබෙන රු. බිලියන 80 ක ණය සීමාව ඉක්මවා යාමයි. පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් විදුලිය නිපදවීම සදහා අපට වැඩි වශයෙන් තාප විදුලි බලාගාර උපයෝගී කරගැනීමට සිදුවනවා. කෙසේ නමුත් ඊයේ දිනයේ ඇතිවූ තත්ත්වයත් සමග සමහර තාප විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීමට අපහසු තත්ත්වයක් ඇතිවුණා. ඒ අනුව ජාතික විදුලි පද්ධතියෙන් මෙගාවොට් 150 කට වැඩි ධාරිතාවයක් ඉවත්වුණා. මේ තත්ත්වය හේතුවෙන් පද්ධතියේ ස්ථාවරත්වය ආරක්ෂා කරගැනීමට, අවශ්‍යතාවය අනුව පැයක පමණ කාලයක් නොයෙක් ප්‍රදේශ වලට විදුලි සැපයුම සීමා කිරීමට සිදුවුණා. මේ ගැටළුව විසදීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමා සහ ලේකම්තුමා ඇතුළු ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිතුමා සහ නිලධාරීන් සමග සිදුකල සාකච්ඡා මගින්, ලංකා විදුලිබල මණ්ඩලය මගින් ඛනිජ තෙල් සංස්ථාව වෙත ගෙවීමට ඇති මුදල් හැකි ඉක්මණින් පියවා දැමීමටත්, එතෙක් විදුලි නිෂ්පාදනය වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය වෙත ලබාදියයුතු ඉන්ධන ලබාදීමටත් ඛනිජ තෙල් සංස්ථාව සමග එකගතාවයකට පැමිණීමට හැකිවුණා.

මේ දිනවල පද්ධතියේ විදුලි අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සදහා ජල විදුලියේ දායකත්වය ලැබෙන්නේ 10%ක් 12% ක් වගේ ප්‍රමාණයක්. මෙයට මූලික හේතුව වන්නේ මේ දිනවල පවතින වියලි කාලගුණික තත්ත්වයයි. ජල විදුලි උත්පාදනය සදහා යොදාගන්නා ජලාශ වල ජල මට්ටම 22% ක් වගේ ප්‍රමාණයකට අඩු වෙලා.විදුලි උත්පාසනය වෙනුවෙන් තාප විදුලි බලාගාර වල දායකත්වය 80%ක් 85% ක් වගේ ප්‍රමාණයක්. විදුලිබල අවශ්‍යතාව සම්පූර්ණ කිරීමේදී ලක්විජය බලාගාරයේ දායකත්වය 40% පමණ වෙනවා. අනෙකුත් තාප බලාගාරවල දායකත්වයත් ලබාදෙනවා.

ලංකා විදුලිබල මණ්ඩලය විසින් ලබාගන්නා ඉන්ධන වෙනුවෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් ලබාදී තිබෙන රු.බිලියන 80ක ණය සීමාව ඊයේ වනවිට ඉක්ම ගොස් තිබුණා. කෙසේ නමුත් මෙම ණය සීමාව තවදුරටත් ඉහල දැමීම සම්බන්ධයෙනුත් මේ වනවිට අවධානය යොමුවී තිබෙනවා. ඉදිරියේදී මෙම ගැටළුවට දිගුකාලීන විසදුම් ලබාදීම තුළින් මෙවැනි ගැටළු උද්ගතවී, ඒ තුළින් ජාතික විදුලිබල පද්ධතියේ විදුලිය අවශ්‍යතාව සපුරාලීමට ඇතිවන නොහැකියාවන් වලක්වාගෙන, ජනතාවගේ දෛනික විදුලි අවශ්‍යතාවන් අඛණ්ඩව සපුරාලීමට බලාපොරොත්තු වෙනවා.“

Leave a Reply

Your email address will not be published. Required fields are marked *