දළදා පෙරහැරේ ආරක්ෂාව තර කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා දැඩි ආරක්ෂාවක් සැපයීමට පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

පෙරහැර රාජකාරි සම්බන්ධව වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා ඊයේ (09) මහනුවර පොලිස් මූලස්ථානයේදී පෙරහැර ආරක්ෂාවට සම්බන්ධ නිලධාරීන් දැනුවත් කිරීමෙන් පසු පැවැති මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.

අගෝස්තු 05 වැනිදා සිට 15 වැනිදා දක්වා මහනුවර නගරය හා තදාසන්න ප්‍රදේශයන්හි මෙම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ. කලාප 13ක් ඔස්සේ මෙම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක අතර එහි සෑම කලාපයක්ම පොලිස් අධිකාරි හෝ සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වේ.

මෙයට අමතරව එම කලාපයන්ද උප කලාප හා අනු කලාප ලෙස බෙදා මෙම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවේ. මෙම වකවානුවේ රථ වාහන හැසිරවීමේ රාජකාරි සඳහාද මූලික අවධානයක් යොමු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *