ශ්‍රී ලංකාවට හානිවන කිසිම ගිවිසුමකට රජය එළඹ නැහැ

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලාංකීය ස්වාධිපත්‍යයට, ස්වාධීනත්වයට හෝ ස්‌ෛවරීභාවයට හානිවන ආකාරයේ කිසිඳු ගිවිසුමකට රජය එළඹ නොමැති බවත් එවැනි ආකාරයේ කිසිඳු ගිවිසුමකට එළඹීමට අපේක්ෂා නොකරන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10) ප්‍රකාශ කළේය.

2017 වසරේදී එවැනි ආකාරයට සෝෆා නමින් ගිවිසුමක් අත්සන් කර ඇත්නම් එය ඉදිරිපත් කරන ලෙස එවැනි ගිවිසුමක් ඇති බව කියන තමන් මාධ්‍යයෙන්ද ඉල්ලා සිටින බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

එවැනි ගිවිසුමක් ඇති නම් එය හොර ගිවිසුමක් විය යුතු බවත් එසේ නම් එවැනි හොර ගිවිසුමක් අත්සන් කළ පුද්ගලයින් පිළිබදව පොලිසියේ පැමිණිල්ලක් කිරීමට තමාට සිදුවෙන බවද අගමැතිවරයා පැවසිය.

එමෙන්ම 1995 වසරේ මැයි මස 16 වැනිදා‍ අමෙරිකානු තානාපති කාර්යාලය හා ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය අත්සන් කළ සෝෆා ගිවිසුම අගමැතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එම ගිවිසුම 2007 වසරේදි හිටපු ආරක්ෂක ලේකම්වරයා අත්සන් කර ඇති බවත් 2017 දක්වා පැවැති එම ගිවිසුම 2017 වසරේ අගෝස්තු 04 දින නැවත අත්සන් කළ බවත් අගමැතිවරයා සඳහන් කළේය.

සෝෆා ගිවිසුම සම්බන්ධයෙන් ගෝනි බිල්ලන් මවන විපක්ෂය 2007 වසරේදී ගෝඨාභය රාජපක්ෂ මහතා පිටු හතකින් යුතුව අත්සන් කරන ලද ඇක්සා ගිවිසුම සම්බන්ධයෙන් විරෝධයක් නොදක්වන බවත් අගමැතිවරයා සඳහන් කළේය. මෙහි ගැටළුව වී තිබුණේ ඇමෙරිකානු පුරවැසියෙක් මෙම ගිවිසුමට අත්සන් කිරීම බව කී අගමැතිවරයා රජය අත්සන් කර ඇති ඇක්සා ගිවිසුම පිටු පහකින් යුතු වන අතර පිටු හතක ගිවිසුමට වඩා පිටු පහකින් යුතු ගිවිසුම හානිදායක වන්නේ කෙසේදැයි අගමැතිවරයා ප්‍රශ්න කළේය.

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර ආධාර ලබා ගැනීම සඳහා වන ගිවිසුමක් පමණක් බවත් අප ඉල්ලා තිබෙන ව්‍යාපෘති ගණනාවක් සඳහා ඔවුන් මුදල් ලබා දෙන බවත් ඩොලර් මිලියන 350ක ඇස්තමේන්තු ගත ප්‍රවාහන ව්‍යාපෘති, ඉදිරි වසර 20 තුල ප්‍රමාණිත ආර්ථික ප්‍රතිලාභ අනුපාතය 19% වන අතර ඒ මගින් බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව පළාත්වල නගරබද හා පළාත් බද ප්‍රවාහන යටිතල පහසුකම් කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීමට බලාපොරොත්තු වෙන බවත් අගමැතිවරයා වැඩිදුටත් පැවසිය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන යන මහත්වරුන් අගමැතිවරයාගෙන් විමසන ප්‍රශ්න වටය යට‍තේ විමසන ලද ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි‍.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *