මතට ඇබ්බහි වූ දරුවන් පුනරුත්ථාපනයට මෙහෙයුමක්

(කොළඹ, ලංකාපුවත්) –දිවයින පුරා අවුරුදු 18ට අඩු දරුවන් එක් ලක්ෂ පහළොස්දහසකට ආසන්න පිරිසක් විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින බවත් ඔවුන් පුනරුත්ථාපනය සඳහා පළාත් මට්ටමින් විශේෂ වැඩසටහනක් ක්‍රියාවට නංවන ලෙස ජනාධිපතිවරයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ ජාතික අධිකාරිය වෙත උපදෙස් දී ඇති බවත් ඊයේ (10) නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසීය.

මත්ද්‍රව්‍ය පිළිබඳ ජනාධිපති කාර්ය සාධන බලකාය, අන්තරායකර ජාතික ඖෂධ පාලක මණ්ඩලය සහ පොලිසිය ඒකාබද්ධව සිදු කළ මෙම සමීක්ෂණ වාර්තාව පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාර දුන් අතර එම වාර්තාව මඟින් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ වයස අවුරුදු 18ට අඩු දරුවන් 6,100ක් හෙරෝයින් භාවිතය සඳහා ඇබ්බැහි වී ඇති බවයි.

මේ අතර දිවයින පුරා පුද්ගලයන් ලක්ෂයකට ආසන්න පිරිසක් දිනකට හොරෝයින් මත්ද්‍රව්‍ය සොයා යන බවද සමීක්ෂණය මගින් සොයා ගෙන තිබේ. එම පිරිස අතුරින් 1,500ක් පමණ කාන්තාවන් වන අතර පිරිමි පුද්ගලයන් සංඛ්‍යාව 85,000කට ආසන්න වේ. තවද ලක්ෂ තුනකට ආසන්න පිරිසක් ගංජා භාවිත කරන බවට මෙම සමීක්ෂණයේදී අනාවරණය වී ඇත. ඒ අතර කාන්තාවන් 1,500ක් සිටින බව සඳහන් වේ.

ජනාධිපතිවරයාගේ මඟපෙන්වීමෙන් දිවයින පුරා ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන යටතේ සිදු කළ විශේෂ මෙහෙයුම්වලදී ඉකුත් මාස 06 තුළ විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සැකකරුවන් 40,846ක් අත්අඩංගුවට ගනිමින් නීතිවිරෝධි මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 3500 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත. ඒ අතර හෙරොයින් කිලෝ ග්‍රෑම් 1029යි ග්‍රෑම් 997යි මිලි ග්‍රෑම් 170ක ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 20,309ක් අත්අඩංගුවට ගෙන ඇත. ගංජා කිලෝ ග්‍රෑම් 2378යි ග්‍රෑම් 950යි මිලි ග්‍රෑම් 381ක් සමඟ 20,015ක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අත්අඩංගුවට ගැනීම් තවදුරටත් පුළුල් කරමින් දෛනිකව පවතින ඉල්ලුම අවම කර ඊට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය වෙනුවෙන් විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක අතර ඒ වෙනුවෙන් විශේෂ අන්තර් පාලන ඒකකයක්ද ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි පිහිටුවීමට කටයුතු කර ඇත. එසේම රට තුළට මත්ද්‍රව්‍ය ගෙන එන සියලු මාර්ග සොයා විශේෂ මෙහෙයුම් දියත් කර ඇති අතර මත්ද්‍රව්‍ය මර්දනය සඳහා මේ වන විට ගෙන යන පුළුල් වැඩපිළිවෙළ කාර්යක්ෂම කළ හැකි අන්දමින් සහ ඊට ගැළපෙන අයුරින් සුරාබදු නීතිද සංශෝධනය කර ලබන සතිය වන විට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා විසින් අදාළ අංශවලට උපදෙස් දී තිබේ.

එසේම සුරාබදු රෙගුලාසි කඩ කරන සුරාබදු බලපත් හිමියන්ට එරෙහි නීති දැඩි කිරීමටද ජනාධිපතිවරයා සුරාබදු දෙපාර්තමේන්තුව වෙත උපදෙස් නිකුත් කර ඇත. පළාත් ආශ්‍රිතව විශේෂ පුනරුත්ථාපන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත් මීට අමතරව සමස්ත දිවයිනම ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය භාවිතයේ අහිතකර බලපෑම් පිළිබඳ දැනුවත් කිරීම් පාසල්, දහම් පාසල්, වැඩබිම් සහ ස්වේච්ඡා සංවිධාන ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමටත් ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *