(කොළඹ, ලංකාපුවත්) – දශක 4ක එක්දින ලෝක කුසලාන තරග ඉතිහාසය එහෙම පිටින්ම උඩුයටිකුරු කරමින් පළමු වරට සුපිරි ඕවරය දක්වා ඇදී ගිය එතෙක් මෙතෙක් පැවැති විශිෂ්ටතම අවසන් මහා තරගයෙන් ජය අත්කර ගත් ඔයින් මෝගන්ගේ නායකත්වයෙන් යුතු එංගලන්ත පිල ඊයේ ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී සිය මංගල ක්‍රිකට් කිරුළ දිනා ගත්තේය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත පිල ඕවර 50 අවසානයේ කඩුලු 8කට රැස් කළ ලකුණු 241ක හඹා ගිය එංගලන්ත පිල ද ඕවර 50 අවසානයේ ලකුණු 241කට දැවී ගියේ වසර 1975දී එංගලන්තයේ ඇරැඹුණු ලෝක කුසලාන තරගමාලා ඉතිහාසයේ පළමුවරට අවසන් මහා තරගය ලකුණු සමවීමෙන් නිමාවට පත් කරමිනි.
ඒ අනුව ඉතිහාසයේ පළමු වරට ලබාදුන් සුපිරි ඕවරයේදී පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත පිල ලකුණු 15ක් රැස් කළ අතර නවසීලන්ත කණ්ඩායමත් තම ඕවරය තුළ ලකුණු 15ක් රැස් කිරීමට සමත්විය. එහෙත් එංගලන්තයට ජය හිමිවූයේ නියමිත ඕවර 50 ඇතුළත මෙන්ම සුපිරි ඕවරය තුළ හතරේ සීමාවෙන් එපිටට වැඩිම පහරවල් සංඛ්‍යාවක් එල්ල කිරීම නිසාය. නවසීලන්තය තරගය පුරා හතරේ පහර 14ක් එල්ල කළ අතර එංගලන්ත පිල තරගය පුරා හතරේ පහර 24ක් එල්ල කිරීමට සමත්විය.
තරගයේ අවසන් ඕවර කිහිපය තුළත්, සුපිරි ඕවරයේදිත් සමස්ත ක්‍රීඩාලෝලීන් පිරිසම හුනස්නෙන් නැගී සිටීමට සැලැස්වූ මේ තරගයේ සම්පූර්ණ ගෞරවය දිනාගත්තේ නවසීලන්තයේම උපන් එංගලන්ත පිලේ සුපිරි තුන්ඉරියව් ක්‍රීඩක 28 හැවිරිදි බෙන් ස්ටෝක්ස්ය.
ඔහු ජොස් බට්ලර් සමග එක්ව ලකුණු 86කට කඩුලු 4ක් බිඳ වැටී තිබුණු එංගලන්ත පිල කදිමට පිළිසකර කරමින් පස්වැනි කඩුල්ලට ලකුණු 110ක සම්බන්ධතාවක් ගොඩ නැගූ අතර බට්ලර්ගේ දැවීයාමෙන් පසුව පසුපෙළ පිතිකරුවන් සමග එක්ව තනි අතින් සිය කණ්ඩායම ඉහළට ඔසවා තැබුවේ විස්මිත අයුරිනි.
ක්‍රිකට් උපන් එංගලන්තයට මෙතෙක් අඩුවක්ව පැවැති ලෝක කුසලානය දිනා ගැනීමට වෙනදාට වඩා සංයමයකින් යුතුව පිත්ත හැසිරවූ ස්ටෝක්ස් තරගය නිමා වෙද්දී පන්දු 98කදී නොදැවී ලකුණු 84ක් රැස් කළේ හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමගිනි. එය මෙවර ලෝක කුසලාන තරගමාලවේ ඔහු රැස් කළ පස්වැනි අර්ධ ශතකය විය.
තරගයේ අවසන් ඕවර දෙක එහෙම පිටින්ම නාටකයක් බවට පත්වූ අතර පන්දුවෙන් පන්දුව තරගයේ වාසිය දෙපිල අතර දෝලනය විය. බවුන්සර් පන්දුවලින් සහ යෝකර් පන්දුවලින් ස්ටෝක්ස් මෙල්ල කරගැනීමට නවසීලන්ත වේගපන්දු යවන්නන් නොගත් උත්සාහයක් නැත.
ට්‍රෙන්ට් බෝල්ට් යැවූ එංගලන්ත ඉනිමේ පළමු පන්දුවෙන්ම ජේසන් රෝයි කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට තුන්වැනි විනිසුරුගේ පිහිට පතමින් දැඩි ආක්‍රමණශීලීව තරගයට අවතීරණ වූ පන්දු යවන්නන්ට නවසීලන්ත පිලේ පන්දු රකින්නෝ ද උපරිම සාධාරණය ඉටු කළහ. ලකුණු 242ක ඉලක්කයක් යනු එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගයක එතරම් විශාල අභියෝගයක් නොවූවත් පළමු ඕවර 5 ඇතුළත සත්කාරකයන් ලකුණු 24කට සීමා කරමින් බෝල්ට් සහ මැතිව් හෙන්රි ගෙන දුන්නේ සුලු පටු තර්ජනයක් නොවීය. එහි ප්‍රතිඵලය වූයේ 6 වැනි ඕවරයේදී ජේසන් රෝයි පිටියෙන් ඉවත් කිරීමට හෙන්රි සමත්වීමය.
නවසීලන්ත පන්දු යවන්නන් එංගලන්ත පිතිකරුවන් කෙතරම් දුරට සිරකර තැබුවේද යත් 10 වැනි ඕවරයේ සිට 12 වැනි ඕවරය නිමාවනතුරු කිසිදු ලකුණක් අත්කර ගැනීමට ඔවුන්ට නොහැකිවිය. ඉන් ඕවර දෙකක්ම යැවුවේ අවසන් පූර්ව තරගයේදී ඉන්දීය පිල අන්දමන්ද කළ මැතිව් හෙන්රිය. ඊළඟ ඕවරය යවනු ලැබුවේ කොලින් ඩි ග්‍රැන්ඩෝම් විසිනි.
එංගලන්ත පිල වෙනුවෙන් ලෝක කුසලාන තරගමාලාවේ වැඩිම ලකුණුලාභියා බවට පත්වී සිටින ජෝ රූට්ගේ ඉනිම ලකුණු 7කට සීමා කිරීමටත්, නායක ඔයින් මෝගන්ගේ ඉනිම ලකුණු 9කට සීමා කිරීමටත් පන්දු යවන්නන් සමත්වීම තරගයේ වාසිය එහෙම පිටින්ම නවසීලන්තයට හරවා තැබූ සාධකයකි. නවසීලන්ත පිලේ පන්දු යැවීම මෙන්ම පන්දු රැකීමත් ඊයේ ඉහළින්ම කැපී පෙනුණි. විශේෂයෙන් ජේම්ස් නීෂම් යැවූ පළමු ඕවරයේ පළමු පන්දුවට මෝගන් එල්ල කළ පහරින් ඉහළින් ඇදී ගිය පන්දුවට ඉදිරියට පැමිණ ෆර්ගියුසන් රැකගත් උඩපන්දුව කළෙකට අමතක නොවන්නකි.
ඕවර 15කින් පසුව පන්දු යැවීමට කැඳවූ නවසීලන්තය වෙනුවෙන් ලෝක කුසලාන තරගමාලාවේ වැඩිම කඩුලුලාභියා වූ ලොකී ෆර්ගියුසන්ගේ පළමු ඕවර 2දිම එංගලන්ත පිල උදුරාගත්තේ ලකුණු 6ක් පමණි. මෝගන් සමග එක්ව ඉනිම පිළිසකර කිරීමට පටන් ගත් බෙයාර්ස්ටොව් සිය සුපුරුදු පිතිහරඹයට පිවිස සිටියත් සිය තුන්වැනි ඕවරයේදී ෆර්ගියුසන් ඔහු උගුලට හසුකරගත්තේය.
නවසීලන්ත ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 29දී බිඳ වැටීමෙන් පසුව නවසීලන්ත ඉනිම පිළිසකර කරමින් දෙවැනි කඩුල්ලට ලකුණු 74ක සම්බන්ධතාවක් ගොඩ නැගූ නායක කේන් විලියම්සන් සහ හෙන්රි නිකලස් මුළු ලකුණු සංඛ්‍යාව 118ක් වෙද්දී ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට ලියම් ප්ලන්කට් සමත්වීමෙන් පසුව රොස් ටේලර්ට ද තැන්පත්වීමට මාක් වුඩ් ඉඩ දුන්නේ නැත.
ඉන්දියාවට එරෙහිව පැවැති අවසන් පූර්ව තරගයේදී ලකුණු 74ක් රැස් කළ මැද පෙළ පිතිකරු රොස් ටේලර් ඊයේ දැවී ගියේ ඉතා අවාසනාවන්ත ලෙසිනි. මුළු ලකුණු සංඛ්‍යාව 141 දී මාක් වුඩ් යැවූ 34 වැනි ඕවරයේ පළමු පන්දුවට ඔහු කඩුල්ල මුවා කළ බවට කළ ඉල්ලීම ඒ මොහොතේ ප්‍රධාන විනිසුරුවරයා වූ මරයිස් එරස්මස් තහවුරු කළත් රූපවාහිනි පුනරූපනවලින් පැහැදිලි වූයේ එය කඩුල්ලේ නොවදින පන්දුවක් ලෙසටය. එහෙත් ටේලර්ට තුන්වැනි විනිසුරුගේ පිහිට ඉල්ලා සිටීමට නොහැකිවූයේ ඒ වනවිටත් නවසීලන්තය සතුව එවැනි අවස්ථාවක් නොතිබීම නිසාය. ඊට පෙර ගප්ටිල් ප්‍රධාන විනිසුරු දුන් තීරණය අභියෝගයට ලක් කිරීමට ගොස් එම අවස්ථාව නිකරුණේ නාස්ති කර තිබිණි.
කෙසේ වෙතත් සත්කාරකයන්ට සටනක් දිය හැකි තරම් ලකුණු ප්‍රමාණයක් රැස් කිරීමට නවසීලන්තය සමත්වූයේ කඩුලු රකින මැද පෙළ පිතිකරු ටොම් ලේතම් නිසාය. මුළු ලකුණු සංඛ්‍යාව 118දී පිටියට පැමිණි ඔහු ක්‍රිස් වෝක්ස් යැවූ 49 වැනි ඕවරයේදී සිය අර්ධ ශතකයට ලකුණු 3ක් අඩුවී සිටියදී දැවි ගියේ නවසීලන්ත ඉනිම ලකුණු 232 දක්වා ඇදගෙන යාමෙන් පසුවය. පන්දු 56කට මුහුණ දුන් ලේතම් හතරේ පහර 2ක් සහ හයේ පහරක් එල්ල කළේය.
අවස්ථා කිහිපයකදීම විලියම්සන් සහ නිකලස්ගේ ඉවසීම පරික්ෂා කර බැලූ ප්ලන්කට් අන්තිමේදී නවසීලන්තයේ විශාලතම බලාපොරොත්තුව වූ විලියම්සන් ක්‍රීඩාගාරයට හරවා යැව්වේය. ඔහු යැවූ 23 වැනි ඕවරයේ සිවුවැනි පන්දුව කඩුලු රකින ජොස් බට්ලර් වෙත ඇදී යාමට පෙර විලියම්සන්ගේ පිත්තේ යාන්තමින් වැදුණු බවට එංගලන්ත පිල කළ ඉල්ලීම ප්‍රධාන විනිසුරු කුමාර් ධර්මසේන ඉවත දැමුවත් තුන්වැනි විනිසුරුගේ පිහිටෙන් ඔවුන් එය සාර්ථක කරගත්තේය. ඉන් අනතුරුව ඉනිමට තවත් ලකුණු 15ක් එක් වෙද්දී නිකල්ස්ගේ කඩුල්ල බිඳ දැමූ ප්ලන්කට් තරගයේ පාලනය එහෙම පිටින්ම එංගලන්ත පිල දෙසට හරවා තැබුවේය.
සිය ආරම්භක වේගපන්දු යවන්නන් දෙදෙනා එක දිගට ඕවර 11ක් යවමින් නවසීලන්ත පිල ලකුණු 40කට සීමා කිරීමෙන් පසුව 12 වැනි ඕවරය යැවීමට ලියම් ප්ලන්කට් ගෙන්වා ගත් නායක මෝගන් නවසීලන්ත පිල තවත් සිර කළේය. නවසීලන්තය පළමු ඕවර 10 නිමාවනවිටත් ලබා සිටියේ ලකුණු 33ක් පමණි.
ක්‍රිස් වෝක්ස් යැවූ ඉනිමේ තුන්වැනි ඕවරයේදී හෙන්රි නිකලස් කඩුල්ල මුවා කළ බවට එංගලන්ත පිල කළ ඉල්ලීමට ඒ මොහොතේ ප්‍රධාන විනිසුරු ලෙස කටයුතු කළ කුමාර් ධර්මසේන අනුමත කළත්, නිකලස් කඩුල්ල බේරා ගත්තේ තුන්වැනි විනිසුරුට පින්සිදු වන්නටය.
කවුරු දිනුවත් අලුත් ලෝක ශූරයකු බිහි කෙරෙන අවසන් මහා තරගය නැරඹීම සඳහා ඊයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයට අතිවිශාල ක්‍රීඩාලෝලීන් පිරිසක් එක්රොක් වී සිටි අතර ක්‍රීඩා භූමිය අවට ප්‍රදේශය එහෙම පිටින්ම සැණකෙළියක සිරි ගත්තේය.
ලෝක කුසලාන තරග ඉතිහාසයේ විශිෂ්ටතම අවසන් මහා තරගය පැවැත්වීමේ ගෞරවයත් ලෝක ක්‍රිකට් පිටියේ ‘ශුද්ධ භූමිය’ ලෙස සැළකෙන ලෝඩ්ස් ක්‍රීඩාංගණයටම හිමිවීමත් විශේෂ සිදුවීමකි. ලෝක ක්‍රිකට් කරළියේ වෙනම පරිච්ඡේදයක් ලියා තැබූ මේ තරගයට ක්‍රීඩා කළ එංගලන්ත පිලට සහ නවසීලන්ත පිලටත්, මෙවැනි තරගයක් සියැසින් දැක බලාගැනීමට වාසනාව උදාවූ දහස් සංඛ්‍යාත ක්‍රීඩාලෝලීන්ට ද නැවත නැවතත් සිහිපත් කළ හැකි ඓතිහාසික මොහොතක් බවට පත්විය.