මාර්ග විනය ඇතිකිරීමෙන් වාහන තදබදය අවම කරන විශේෂ වැඩසටහනක්

(කොළඹ, ලංකාපුවත්) –මාර්ග විනයක් ඇතිකරලීම තුළින් රථවාහන තදබදය අවම කිරීම සඳහාත් විනයගරුක රියැදුරන් බිහිකිරීම සඳහාත් අරමුණු කරගත් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පොලිස් මූලස්ථානය සූදානම් වේ.

වැඩබලන පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා ඒ ගැන මේ වනවිටත් රථවාහන අංශ භාර පොලිස් ප්‍රධානීන් සමඟ සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බව පොලිස් මූලස්ථාන තොරතුරු අනාවරණය කළේය.බීමත් රියදුරන්ට එරෙහිව මෙහෙයුම් දිගින් දිගටම සිදුවන්නේ මංතීරු නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්නේ එම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙසිනි. අධික ශබ්දය මෙන්ම දුම් පිටවන වාහන සම්බන්ධයෙන්ද ඉදිරියේදී පොලිසිය දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට මේ වනවිට සැලසුම් සකස් කරමින් සිටී.

සාමාන්‍ය රථවාහන මෙහෙයුම්වලට අමතරව මේ වනවිට කොළඹ නාගරික රථවාහන පොලිසිය පැය 24 පුරාම කොළඹ නගරයේ කණ්ඩායම් 17 ක් ස්ථාපිත කර වැටලීම් දියත් කර ඇතැයිද සඳහන්ය. එම මෙහෙයුම් ප්‍රධාන මාර්ගවලට පමණක් සීමා වී නැති බවත් අතුරු මාර්ගවලත් ක්‍රියාත්මක වන බවත් කොළඹ නාගරික රථවාහන පොලිසියේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ජයසිරි කොඩිතුවක්කු මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *