19 තෙක් වැසි හා තද සුළං – මීටර් 2ක් දක්වා මුහුදේ රැළි ඉහළට‍

(කොළඹ, ලංකාපුවත්) –දිවයිනේ, නිරිත දිග කොටසේ වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් ජූලි මස 19 වන දා දක්වා බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද(17) දිනයේදී දිවයිනේ දකුණු අර්ධය වලාකුලින් බරව පවතී.

එසේම මේ දිනවල පැවැත්වෙන අධික වඩදිය බාදිය කැළඹිලි හේතු කොටගෙන ශ්‍රී ලංකාව වටා මුහුදේ මීටර් දෙකක් දක්වා උසට රැළි නැඟිය හැකි බව සමුද්‍ර පරිසර ආරක්ෂක අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පැවසීය.

පසුගිය දින කිහිපය තිස්සේ උස් රළ සහ වෙරළ ඛාදනය වාර්තා වී ඇති බවත් උණවටුන, බලපිටිය සහ තල්පේ ප්‍රදේශවල නිවාසවලට හානි වීම් වාර්තා වී ඇති බවත් ඔහු වැඩිදුරටත් කීවේය.

නාවුක කටයුතුවල නිරත මහජනතාවට සහ විශේෂයෙන්ම ධීවර ජනතාවට මේ අවස්ථාවේ මුහුදු ගමන් සිදු කරන්නේ නම් තම ආරක්ෂාව ගැන වැඩි අවධානයක් යොමු කරන ලෙස ඔහු කියා සිටී.

වැලි කොට්ට හෝ වෙනත් අවහිර කිරීම් යොදා තම දේපල ආරක්ෂා කරගන්නා මෙන් වෙරළාශ්‍රිතව ජීවත් වන ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි. නිවාඩු ගත කිරීමට හෝ මුහුදේ නෑමට වෙරළට යන අය තම ආරක්ෂාව ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතු බවට ඔහු වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

මුහුදු රළ මීටර් 2.4ක් පමණ උස් විය හැකි බවත් පෙ.ව. 9.30 සහ ප.ව. 10.00 කාලසීමාව අවට මේ රළ නැඟිය හැකි බවත්, මෝසම් සුළං තත්ත්වයන්, පුන්පොහෝ දින ඇති වන උදම් තරංග සහ කාලගුණික විපර්යාස මේ තත්ත්වයට හේතු වන බවත් ප්‍රදීප් කුමාර මහතා වැඩිදුරටත් පැවැසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *