‘අධිකරණ පියස’ ඉදි කිරීමට ආයෝජකයින් 13ක්

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ අලුත්කඩේ අධිකරණ ගොඩනැගිලිවල පවතින ඉඩකඩ ප්‍රමාණවත් නොවීමත් එම ගොඩනැගිලි මේ වන විට අබලන් තත්වයට පත්වීමත් නිසා ඩොලර් මිලියන 94.55 ක වියදමින් අක්කර 06 ක භූමි භාගයක ඉදිකරනු ලබන ‘අධිකරණ පියස’ නව ගොඩනැඟිලි සංකීර්ණය ඉදි කිරීමට ආයෝජකයින් 13 දෙනකු ඉදිරිපත් වී ඇතැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය කියයි.

මේ සඳහා දේශිය ආයෝජකයකු හෝ දැනට ලංකාවේ ඉදි කිරිම් කටයුතු සිදු කරන විදේශීය ආයතනයන් වෙතින් තරගකාරී මිල ගණන් කැඳවිම යටතේ ආයෝජකයකු තෝරා ගැනිමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබිණි.ඒ අනුව පුවත් පත් දැන්වීම් පළ කිරීම මගින් මෙහි ආයෝජනය කිරීම සඳහා ආයෝජකයින් 13 දෙනා ඉදිරිපත් වී ඇත.එසේම මේ වන විට ද කිසිදු ආයෝජකයෙකු මෙම ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කර ඉදි කිරීමට තෝරා ගෙන නොමැති බවද එම අමාත්‍යංශය අවධාරණය කරයි.

කැබිනට් මණ්ඩල අනුමැතිය අනුව ඉදිවන මෙම ඉදිකිරීම් යටතේ ,දැනට පවතින අබලන් අධිකරණ ගොඩනැගිලි වෙනුවට තට්ටු 12 කින් යුත් අධිකරණ ශාලා 40 කින් යුත් ගොඩනැඟිල්ලක්, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ කටයුතු සඳහා තට්ටු 08 කින් යුත් ගොඩනැඟිල්ලක් ,විනිසුරුවරුන්ගේ පුහුණුවීම් කටයුතු වෙනුවෙන් පුහුණු මධ්‍යස්ථානයක් සඳහා තට්ටු 08 කින් යුත් ගොඩනැඟිල්ලක්, හා නව නීති මධ්‍යස්ථානයක් සඳහා තට්ටු 08 කින් යුත් ගොඩනැගිල්ලක් ඉදි කිරිමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *