ආධාර ඉහළට ලෝක බැංකුවෙන් ජනපතිට සහතිකයක්

(කොළඹ, ලංකාපුවත්) – නව මෙහෙයුම් ත්‍රිත්වයක් යටතේ ශ්‍රී ලංකාවට ලබාදෙන ආධාර තවදුරටත් ඉහළ නංවන බව ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපීය උප සභාපති හාර්ට්විග් ශේෆර් (Hartwig Schafer) මහතා පැවසීය.

ඊයේ (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වූ අවස්ථාවේදී උප සභාපතිවරයා මේ බව සඳහන් කළේය.

හදිසි කාලගුණික වෙනස්වීම්වලට මුහුණදී සිටින කාෂිකාර්මික ක්ෂේත්‍රය සහ වාරි කර්මාන්තය, පුනර්ජනනීය බලශක්ති, කාලගුණික ප්‍රත්‍යස්ථිත මෙහෙයුම් හා ග්‍රාමීය ප්‍රදේශවල වැව් ප්‍රතිසංස්කරණය සඳහා සහාය වීම මෙම නව මෙහෙයුම් ත්‍රිත්වයට ඇතුළත්ය.

පාස්කු ඉරිදා ප්‍රහාරය හා ආර්ථිකය කෙරෙහි එහි බලපෑම පිළිබඳව අදහස් දක්වමින් හාර්ට්විග් ශේෆර් මහතා කියා සිටියේ සවිමත් ආර්ථික පදනමක් මත පිහිටා ශ්‍රී ලංකාවට අඛණ්ඩවම ගෝලීය ණය ආධාර ලබා ගැනීමට හැකි වන පරිදි අයවැය පරතරය අවම කර ගැනීම සඳහා ලෝක බැංකුවේ මුල්‍යමය සහාය ලබාදෙන බවයි.

දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවට ලබා දෙන සහයෝගය වෙනුවෙන් මෙහිදී ලෝක බැංකුව වෙත සිය කෘතඥතාවය පළ කළ ජනාධිපතිවරයා අපේ‍්‍රල් 21 ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු මුහුණු දීමට සිදු වූ අභියෝග ජය ගැනීමට ලෝක බැංකුව විසින් ලබාදුන් සහාය පිළිබඳවද ස්තුති පූර්වකව සිහිපත් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *