ගිනිගත්හේනේ වෙළදසැල් 10ක් නායයයි

(කොළඹ, ලංකාපුවත්) –පවතින අයහපත් කාළගුණයත් සමග අද (19) අලුයම 02 ට පමණ ගිනිගත්හේන නගරයේ වෙළදසැල් 10 ක් මහවැලි ගග දෙසට නායගොස් වෙළදසැලක සිටි එක් සේවකයෙක් අතුරුදහන් වී ඇති බව ගිනිගත්හේන පොලිසිය පවසයි.

ගිනිගත්හේන පොලිසිය අසල ගිනිගත්හේන මහනුවර ප්‍රධාන මාර්ගයේ කොටසක් මෙලෙස නාය යෑමට ලක්ව ඇත.

නාය ගිය වෙළදසැල් අතර සිල්ලර වෙළදසැල් කිහිපයක් , එලවළු අලෙවි කරන වෙලදසැල් කිහිපයක් , අවහන්හල් දෙකක් , සැලූනයක් සහ විසිතුරු භාණ්ඩ අලෙවි කරන වෙලදසැලක් තිබූ බවයි පොලිසිය පවසන්නේ.

ප්‍රධාන මාර්ගයේ කොටසක්ද නායයාමේ අවධානමක් පවතින නිසා පොලිසිය ඉදිරිපිට සිට ගිනිගත්හේන බස් – නැවතුම්පොල දක්වා මහනුවර මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දමා ඇත.

එම මාර්ගයේ ගමන් ගන්නා වාහන කොළඹ මාර්ගය දෙසට ගමන් කර බස් නැවතුම්පොල හරහා ප්‍රධාන මාර්ගයට පිවිසෙන ලෙසට ගිනිගත්හේන පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

නාය යෑමට ලක්වූ වෙලදසැල් සහ අවට වෙළදසැල් ගණනාවක් නාය යෑමේ අවධානමක් පවතින බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මිට ප්‍රථම හදුනාගෙන එම වෙලදසැල් හිමියන්ට ඉන් ඉවත් වෙන ලෙසට අවස්ථා කිහිපයකදී දැනුම් දී ඇති බවත් වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *