ලංකාවේ තේ දල්ලකින් රස ගැන්වෙන ලන්ඩනයේ මිල අධිකම තේ

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයෙන් නෙළාගත් දුර්ලබ වර්ගයේ තේ දළුවලින් හදන තේ කෝප්පයක් ඩොලර් 200 කට එනම් (ආසන්න වශයෙන් රුපියල් 36,000) වැනි විශාල මුදලකට ලන්ඩනයේ බකිංහැම් මාලිගාව ඉදිරියේ පිහිටි ‘ද රූබන්ස් ඇට් ද පැලස්’ නමැති අවන්හලේ අලෙවි කරයි.

ඒ සුපිරි අවන්හලට බ්‍රිතාන්‍ය මාධ්‍ය මගින් විශාල ප්‍රසිද්ධියක් ද ලබාදී ඇත.

බ්‍රිතාන්‍යයේ මිල අධිකම තේ කෝප්පයක රස බැලිය හැක්කේ මෙම අවන්හලේදී යැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය පවසයි.

ලොව හොඳම තේවලට ප්‍රකට ශ්‍රී ලංකාවේ තේ දළු නෙළන්නියන්ගේ දෑතින් නෙළාගත් මේ දුලබ තේ වර්ගය අලෙවි වන්නේ ලන්ඩනයේ බකිංහැම් මාලිගාව ඉදිරියේ පිහිටි ‘ද රූබන්ස් ඇට් ද පැලස්’ නමැති අවන්හලේය.

පාරිභෝගිකයා විසින් ගෙවනු ලබන එම අති විශාල මුදලට සමාන රාජකීය පිරිනැමීමක් ද තේ පිළිගැන්වීමේදී ඔවුන් හට හිමිවේ.

මෙම අතිවිශේෂ තේ සකසන්නේ ද විශේෂිත ක්‍රමවේදයකට අනුව වන අතර , මේ දුලබ තේ වල මිහිරි රසය විඳින්නට නම් කිසිදු ආහාරයක් ගැනීමට පෙර තේ පානය කළ යුතු යැයි හෝටල් කාර්ය මණ්ඩලය පාරිභෝගිකයන්ට දැනුම් දෙයි.

‘ගෝල්ඩන් ටිප්ස් ටී’යනුවෙන් හැඳින්වෙන මෙම විශේෂිත තේ වර්ගය සුදු පැහැයක් ගන්නා අතර ඒවා ලැබෙන්නේ විශේෂයෙන්ම මහනුවර ප්‍රදේශයේ තේ වතුවලිනි.

අතීතයේදී මේ තේ අළෙවි වූයේ මීට වඩාත් වැඩි මිලකටය. වසර 1891 ක කාලයේදී පමණ මේ තේ ඇමෙරිකානු ඩොලර් 1,500 කට ආසන්න මුදලකට පමණ අලෙවි වී ඇත.

මේ සුවිශේෂී වූ තේ වර්ගය සපයනු ලබන්නේ විශේෂිත තේ අළෙවිකරුවකු වන පී.එම්. ඩේවිඩ් සිල්වා සහ පුත්‍රයෝ සමාගමෙනි.

මෙම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ‘ටී මාස්ටර්’ (විශේෂඥ තේ අළෙවිකරු) වන ධනංජය සිල්වා මහතා මේ සම්බන්ධයෙන් කියා සිටියේ ,

“රූබන්ස් ගෝල්ඩන් ටිප්ස් තේ දළුවලින් එහි සාරය තුන් වරක් පමණ උරා ගන්න පුළුවන්. ඒ සෑම අවස්ථාවකදීම විශේෂිත සහ අලුත් රසයක් එනවා. ඒ වගේම ඒ සුවඳත් වෙනස්. මුල් අවස්ථාවේදී එන්නේ ඉතා සිනිඳු විල්ලුදවලින් එන සුවඳට සමාන සුවඳක්. දෙවැනි වරට එන්නේ කොමඩු සහ පෙයාර්ස්වල එන සුවඳක්. තෙවැන්නේ ඔබට එන්නේ මී පැණිවලින් එන සුවඳක්” බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *