සිසු දරුවන්ට කිරි වීදුරුවක් ලබා දීම: ජාතික වැඩසටහන හෙට ජනපති ප්‍රධානත්වයෙන්

(කොළඹ, ලංකාපුවත්) – පාසල් දරුවන් සඳහා දියර කිරි වීදුරුවක් ලබාදීමේ ජාතික වැඩසටහන හෙට (23) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රත්නපුර කලවාන කජුගස්වත්ත ශාස්ත්‍රෝදය විද්‍යාලයේදී ආරම්භ කෙරේ.ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි “කිරෙන් සපිරි දැයක්“ තේමාව යටතේ ක්‍රියාත්මක මෙම වැඩසටහන මගින් 2030 වන විට ශ්‍රී ලංකාව දියර කිරෙන් ස්වයංපෝෂිත කිරීම හා පාසල් දරුවන්ගේ පෝෂණය ඉහළ නැංවීම අරමුණු කෙරේ.

ජනාධිපති ලේකම් කාර්යාලය සහ ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය එක්ව සංවිධානය කරනු ලබන මෙම වැඩසටහන සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සහ කෘෂිකර්ම පශු සම්පත් සංවර්ධන

අමාත්‍යාංශය සහය ලබා දෙයි. පළමු ශ්‍රේණිය සිට 05 ශ්‍රේණිය දක්වා පාසල් ප්‍රාථමික අංශයේ දරුවන්ට දෛනිකව දියර කිරි වීදුරුවක් ලබාදීමේ ව්‍යාපෘතිය මෙලෙස ක්‍රියාත්මක කෙරේ. මෙරට කිරි ගොවින්ගේ ජීවන තත්ත්වය නඟා සිටුවීමේ විධිමත් සැලැස්මක්ද මේ ව්‍යාපෘතිය සමග ක්‍රියාත්මක කෙරේ. පළමු ශ්‍රේණියේ සිට පස් වන ශ්‍රේණිය දක්වා වූ දිවයින පුරා විසිරී ඇති තෝරාගත් ප්‍රාථමික පාසල් 950ක පාසල් දරුවන් ලක්ෂ හතරක් පමණ මෙහි ප්‍රථිලාභීහු වෙති. කලවාන කජුගස්වත්ත ශාස්ත්‍රෝදය විද්‍යාලයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සමාරම්භක ජාතික වැඩසටහන සඳහා ප්‍රදේශයේ පාසල් දහතුනක සිසු දරු දැරියන් එක්දහස් පන්සියක් පමණ එක්වීමට නියමිතය. ජාතික වැඩසටහනට සමගාමීව කලවාන ප්‍රදේශයේ කිරි ගොවීන් සඳහා පහසුකම් රැසක් ලබාදීමට ද නියමිතය.

ශ්‍රී ලංකාවේ ආරම්භ කෙරෙන සැලසුම් සහගත දියර කිරි බෙදා හැරීමේ වැඩසටහන මෙය වන අතර පාසල් සිසුන් හට රසකාරක කිසිවක් අඩංගු නොවන මිලි ලීටර් 150කින් යුතු සීනි සියයට දෙකකට අඩු සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රමිතීන්ට අනුව මෙම කරි පැකට්ටුව ලබා දේ. ඉවත ලන කිරි පැකට් එකතු කර නැවත ප්‍රතිචක්‍රීකරණ වැඩසටහනක්ද මෙයට අයත්ය.

රජය ඒ සඳහා මේ වසරට වෙන්කර ඇති මුදල රුපියල් මිලියන දහසකි.

දේශීය කිරි ගොවියා ශක්තිමක් කිරීම කිරෙන් සපිරි දැයක් වැඩසටහනේ තවත් අරමුණකි. මෙම වැඩසටහනට සමගාමීව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 332කේම කිරි ගම්මාන ඇති කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කෙරේ. ජාතික උත්සවය පිළිබඳ විශේෂ සාකච්ජාවක් පසුගියදා (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්විණි. මේ මාධ්‍ය සාකච්ඡාව සඳහා ජනාධිපති උපදේශක නීතිඥ ශිරාල් ලක්තිලක, ග්‍රාම ශක්ති අධ්‍යක්ෂ ජනරාල් චම්පික කළු ආරච්චි, අධ්‍යාපන අමාත්‍යංශයේ අධ්‍යක්ෂිකා රේණුකා පීරිස්, කෘෂිකර්ම අමාත්‍යංශයේ පශු සම්පත් අංශයේ වෛද්‍ය නිරෝෂන් ගමගේ යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *