තෙල් සංස්ථාව ඇරඹූ නව නල පද්ධතිය එළීමේ කටයුතු අවසන්

(කොළඹ, ලංකාපුවත්) – ලංකා ඛණිජ තෙල් සංස්ථාව විසින් ආරම්භ කරන ලද නව නල පද්ධතිය එළීමේ වැඩ කටයුතු සාර්ථකව අවසන් කළ බව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ කලමනාකාර අධ්‍යක්ෂ එම්. ආර්. එම් ආබ්දීන් මහතා පවසයි.

එය කඩිනමින් අවසන් නොකළහොත් ඉන්ධන සම්බන්ධයෙන් පැන නැගිය හැකි ගැටලු පිළිබඳ අවධාරණය කිරීමෙන් පසු කෙටි කාලයක් තුළ එය අවසන් කිරීමට අවස්ථාව ලැබුණ බව ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.

එම්. ආර්. එම් ආබ්දීන් මහතා මේ බව අනාවරණය කළේ ඊයේ (22) කොළොන්නාව ඛණිජ තෙල් තොග ගබඩා සංකීර්ණයේ දී මාධ්‍ය හමුවක් පවත්මිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ කළමණාකාර අධ්‍යක්ෂ – එම්. ආර්. එම් ආබ්දීන් මහතා, “ ලංකා ඛණිජ තෙල් සංස්ථාව විසින් ආරම්භ කරන ලද නව නල පද්ධතිය එළීමේ වැඩ කටයුතු පසුගිය සතියේ අවසන් කළා. මුතුරාජවෙල ගොඩ බෑමට තිබූ ඉන්ධන අයහපත් කාලගුණ තත්ත්වය නිසා සිදු නොකළත්, අමාත්‍යවරයා ගේ උපදෙස් මත පරීක්ෂා කිරීම සාර්ථකව සිදු කළා. මෙය සාර්ථක නොවුනා නම් ඉදිරියට ඉන්ධන හිගයක් ඇති විය හැකි බව අප මීට පෙර අනතුරු හැඟවුවා. කෙසේ නමුත් අලුත් නළ පද්ධතිය විවෘත කිරීමෙන් එවන් තත්ත්වයකට මුහුණ දෙන්නට අපට සිදු වන්නේ නැහැ. එය අමාත්‍යවරයා විසින් ළඟදීම විවෘත කරනවා. මේ කටයුත්ත සාර්ථක කර ගැනීම සඳහා අමාත්‍යවරයා, ලේකම්වරයා වගේම වෘත්තිය සමිති ලබා දුන් සහයෝගයට ස්තූතිවන්ත වෙනවා“ යැයි පැවසීය .

ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී එම්. එස්. එම් නියාස් මහතා,
“අපට කාලයක් තිස්සේ තිබූ ගැටලුව තමයි අඟල් 12 නල මාර්ගය ඉදි කර ගැනීම. එය මේ වන විට සාර්ථකව නිම කර ගැනීමට හැකිව තිබෙනවා. එම නල මාර්ගයෙන් තෙල් ගොඩ බෑම පසුගිය සෙනසුරාදා සංකේතාත්මකව ආරම්භ කළා. එමගින් ඉක්මණින්ම නැවක් අවසන් කිරීමට හැකි වුණා. නැවක ප්‍රමාද ගාස්තුව සාමාන්‍යයෙන් විනාඩියකට රු. 2400ක් වෙනවා. එම නිසා අමාත්‍යවරයා උපදෙස් දුන්නේ එම කටයුත්ත ප්‍රමාද කරන්න එපා කියලයි. අයහපත් කාලගුණයත් සමග නැව් කිහිපයක් වරායෙන් පිටත නැංගුරම් ලා තිබුණා. ඒ සියල්ලම ඉතා ඉක්මණින් ගොඩ බෑමට අපට දැන් හැකියාව ලැබී තිබෙනවා“ යැයි කීය.

ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ විධායක අධ්‍යක්ෂ නිමල් ජයසුන්දර මහතා,
“ 2015 ආරම්භ කළ මෙම නල පද්ධතිය විවිධ හේතුන් මත නිම කළ නොහැකි වුනා. මීටර් 144 ක වගේ ප්‍රමාණයක් නිසා සෑහෙන කාලයක් ප්‍රමාද වුණා. කෙසේ වුවත් දැඩි අවශ්‍යතාව වගේම මේ කාර්ය සිදු නොකළහොත් රටට ඉන්ධන සම්බන්ධයෙන් පැන නගින ගැටලු අවධාරණය කිරීමෙන් අපේ අමාත්‍යවරයා ඇතුලු සියලු දෙනාත් භාණ්ඩාගාරයත් එකතාවයට ඇවිත් කෙටි කාලයක් තුළ එය අවසන් කරන්න අවස්ථාව ලැබුණා“ යැයිද පැවසීය.

ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ වැඩ බලන සාමාන්‍යධිකාරී ජී. එම්. ඒඑ බණ්ඩාර ,ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ විධායක නිලධාරීන්ගේ සංගමය මනු ජයවර්ධන, ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ ජාතික සේවක සංගමය ලේකම් වයි. පී. ජී ජයලීල සහ ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ නිදහස් සේවක සංගමය ලේකම් ජයන්ත පරේගම ද මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *