පාසල් සිසුන්ට දියර කිරි වේලක් ලබාදීමේ ජාතික වැඩසටහන ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) –කිරිපිටි ආනයනයට සහ කිරිවලට අදාළ අනෙකුත් ආහාර සඳහා වාර්ෂිකව වැයකරන රුපියල් කෝටි 10,000කට වැඩි අතිවිශාල මුදල රටට ඉතිරි කර ගැනීම වෙනුවෙන් සහ දැයේ දරුවන් සුපෝෂිත පරපුරක් ලෙස ගොඩනැගීම වෙනුවෙන් දේශීය කිරි ගොවියා ශක්තිමත් කළ යුතුව ඇති බව ජනාධිපතිතුමා පවසයි.

එහි එක් පියවරක් ලෙස පාසල් සිසුන් වෙත දියර කිරි වේලක් ලබාදීමේ ජාතික වැඩසටහන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (23) පෙරවරුවේ රත්නපුර කජුවත්ත ශාස්ත්‍රෝදය විද්‍යාලයේ දී ආරම්භ කෙරිණි.

2025 වන විට ශ්‍රී ලංකාවේ දියර කිරි නිෂ්පාදනය ඉහළ දැමීම හා ප්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවන්ගේ පෝෂණය ඉහළ නැංවිම යන අරමුණු පෙරදැරිව ජනාධිපතිතුමාගේ මඟපෙන්වීමෙන් ‘කිරෙන් සපිරි දැයක්’ තේමාව යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙයි. ශ්‍රී ලංකාවේ දිළිඳුකම තුරන් කිරීම උදෙසා ආරම්භ කළ ප්‍රමුඛ ව්‍යාපෘතියක් වන ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය යටතේ වැඩසටහන ක්‍රියාත්මක වන අතර ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ පශූ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය ඊට සහය දෙයි.

මෙම වැඩසටහනේ පළමු පියවර වශයෙන් පළමු වසරේ සිට පහ වසර දක්වා දරුවන් ලක්ෂ හතරකට දිනකට කිරි මිලි ලීටර් 150ක් ලබාදීම සිදු වන අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශයන්ට අනුව රස කළ කිරි වෙනුවට ප්‍රමිතිගත දියර කිරි පැකැට්ටුවක් ලබාදීම සිදු වෙයි. එමෙන්ම ඉවතලන කිරි පැකට් වෙනුවෙන් ප්‍රතිචක්‍රීකරණ වැඩසටහනක් ද ක්‍රියාත්මකය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ නිරෝගීවත් සහ බුද්ධිමත් ජාතියක් රටක ජයග්‍රහණය බවයි. රටේ ජනගහනයෙන් සියයට 15කට ආසන්න ප්‍රමාණයක් මන්දපෝෂණයෙන් පෙළීම රටක් ලෙස යහපත් තත්ත්වයක් නොවන බව සඳහන් කළ ජනාධිපතිතුමා සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහිකිරීමේ අභියෝගයේ දී දේශීය දියර කිරි පරිභෝජනය ප්‍රචලිත කිරීම ඉතා වැදගත් බව ද පෙන්වා දුන්නේ ය.

එමෙන්ම ග්‍රාමීය කිරි ගොවියා ශක්තිමත් කිරීම තුළින් ග්‍රාමීය දුගී භාවය අවම කර යහපත් ආර්ථික වර්ධනයක් ලබා ගැනීම මෙම වැඩසටහනේ ප්‍රධාන ඉලක්කයක් බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

පාසල් සිසුන් වෙත දියර කිරි වේලක් ලබාදීමේ ජාතික වැඩසටහන සඳහා 2019 වසර වෙනුවෙන් මේ වන විට රජය රුපියල් මිලියන 4000කට අධික මුදලක් වෙන් කර ඇති බව ද ජනාධිපතිතුමා පැවසීය. ජනාධිපති කාර්යාලය ඒ සඳහා රුපියල් මිලියන 1000කට වැඩි මුදලක් වැය කරන අතර කිරි පැකට් බෙදා හැරීමේ මූලික වගකීම කාර්ගිල්ස් සහ මිල්කෝ ආයතන විසින් දරනු ලබයි.

මෙම උත්සව සභාව අමතමින් ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ අඩු පාඩු මඟ හරවා ගනිමින් දැයේ දරුවන්ගේ සහ ජාතියේ අනාගතය වෙනුවෙන් මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සියලුදෙනා සහයෝගයෙන් එක්වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
පාසල් දරු දැරියන් එක්දහස් පන්සීයක් පමණ පිරිසක් මේ සඳහා සහභාගී වී සිටි අතර මේ හා සමගාමීව කලවාන ප්‍රදේශයේ කිරි ගොවීන් සඳහා පහසුකම් රැසක් ලබා දීම ද ජනාධිපතිතුමා අතින් සංකේතවත් කෙරිණි.

අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, අකිල විරාජ් කාරියවසම්, පී. හැරිසන්, සබරගමුව පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක, දුනේෂ් ගන්කන්ද, අතුල කුමාර රාහුබද්ධ, භානු මනුප්‍රිය යන මහත්වරුන් ඇතුළු පළාතේ මහජන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරින් ද, විදුහල්පතිවරු, ගුරුවරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *