ශ්‍රී ලංකාව දියුණු රටක් කරන්න එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ක්‍රියාත්මක කරනවා

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව ව්‍යවසායකත්වයෙන් බලගැන් වූ දියුණු රටක් බවට පත්කිරීමේ අරමුණින් ‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා’ වැඩසටහන ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

අනුරාධපුරය වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණයේ ඊයේ (24) සවස 2 එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් අනතුරුව අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කෙළේය. මුදල් අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලැබූ මෙම ජාතික ප්‍රදර්ශනය ඊයේ සිට පුරා දින හතරක් අනුරාධපුරයේදී පැවැත්වේ. එහි සමාරම්භක අවස්ථාවට එක්වූ අග්‍රාමාත්‍යවරයා පළමුව පිවිසියේ ව්‍යවසායකත්ව කලාපයටය.

ශ්‍රී ලංකාව ව්‍යවසායකත්ව පාරාදීසයක් බවට පත්කොට රැකියා දස ලක්ෂයක් බිහිකිරීමේ ජාතික දැක්ම ජයගැනීමට මඟ කියාදෙන මේ ප්‍රදර්ශනයේදී ව්‍යවසායකයින්ට අවශ්‍ය මූලික දැනුම, මූල්‍යාධාර සහ ලොව දිනාගැනීමට අවශ්‍ය සහායක සේවා සියල්ල මේ ව්‍යවසායකත්ව කලාපයේ ප්‍රදර්ශන කුටි හා සේවා කවුළු තුළින් ලබාදෙන අයුරු මෙහිදී අගමැතිවරයාගේ නිරීක්ෂණයට ලක්විය. මෙරට ක්‍රියාත්මක රාජ්‍ය හා පෞද්ගලික බැංකු ආයතන රාශියක් මීට ඇතුළත්.

අනතුරුව අග්‍රාමාත්‍යවරයා රාජ්‍ය හා පෞද්ගලික සේවා කලාපය නැරඹුවේය. රටේ ව්‍යවසායකත්ව ගොඩනැඟීමේදී විශේෂයෙන් රජරට හා අනුරාධපුරය දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික ව්‍යවසායකත්වය ගොඩනැංවීමට ගන්නා ක්‍රියාමාර්ග ප්‍රදර්ශනය කැරිණි. මේ අන්දමට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවා සපයන ආයතනවල කුටි නැරඹු අග්‍රාමාත්‍යවරයා, ප්‍රධාන සම්භාවනීය පිරිස අනතුරුව කෘෂිකර්ම කලාපයට එක්විය. මෙරට ප්‍රධානතම වගා බිමක් ලෙස නම් දැරූ අනුරාධපුරයේ කෘෂිකාර්මික නවීකරණයෙන් රටට, ජාතියට හිමිවන ඉහළ ආදායම් විදේශ විනිමය පිළිබඳව ගොවි ජනතාව දැනුම්වත් වන මේ කලාපය අගමැතිවරයාගේ පැසසුමට ලක්වූවක් විය.

එය නැරඹීමෙන් පසු අගමැතිවරයා පිවිසියේ ජනමාධ්‍ය අමාත්‍යාංශය ප්‍රධානව සංවිධානය කළ මාධ්‍ය කලාපයටයි. ඊට ඇතුළත්ව සිටින මෙරට විද්‍යුත්, මුද්‍රිත මාධ්‍ය ආයතන මාධ්‍ය ප්‍රදර්ශන කුටි නැරඹූ අගමැතිවරයා, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සංවිධානය කළ මාධ්‍ය මධ්‍යස්ථානයට පැමිණියේය. ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ ලේක්හවුස් ආයතනයේ මාධ්‍ය ප්‍රදර්ශන කුටියේදී ජනතාවට අත්විඳිය හැකි හා ලබාදෙන දැනුම්වත් කිරීම් අගමැතිවරයාගේ නිරීක්ෂණයට ලක්විය.

ඉන් අනතුරුව ප්‍රදර්ශනය පිළිබඳව අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා, මේ ප්‍රදර්ශනය පැවැත්වීම තුළින් රජය බලාපොරොත්තු වන්නේ නව ව්‍යවසායකත්ව හැකියාවන් වැඩිදියුණු කිරීමයි. ඊට අවශ්‍ය ආකල්පමය පිබිදීමක් ජනතාවගේ සිත්වල ඇතිකිරීමයි. අපි ජනතාවට ව්‍යවසායකත්වය දියුණු කරගන්න අවශ්‍ය සෑම සහයෝගයක්ම ලබාදෙනවා.

මූල්‍යාධාර පමණක් නොවෙයි, ව්‍යවසායකයින්ට අවශ්‍ය අනිකුත් සේවා, දැනුම මෙහිදී ලබාදෙනවා. මෙවන් ප්‍රදර්ශන මුළු රට පුරාම පවත්වා මුළු රටම ව්‍යවසායක පාරාදීසයක් බවට පත්කිරීමට පියවර ගන්නා බවද අග්‍රාමාත්‍යවරයා කීය.

මුදල් ඇමැති මංගල සමරවීර මහතා – ඈත අතීතයේදී අනුරාධපුරය දිස්ත්‍රික්කය ප්‍රධාන මුළු රජරටම ලෝකයේ දියුණු හා විවිධ රාජ්‍ය සමඟ වෙළෙඳ ගනුදෙනු සිදුකොට තිබෙනවා. ඒ බවට සාක්ෂි ලෙස විවිධ රාජ්‍යවල කාසි, නෝට්ටු පුරාවිද්‍යාත්මක කැණීම් කිරීම්වලින් පසු මෙහිදී සොයාගෙන තිබෙනවා. අපි නැවතත් අතීතයේ සිදුකළා සේම මේ ප්‍රදේශවලින් ලෝක වෙළෙඳාම ජයගන්නා ව්‍යවසායකයෝ බිහිකළ යුතුයි. ඒ අරමුණින් මේ ප්‍රදේශයේ ව්‍යවසායකයෝ බලගැන්වීමට මේ ප්‍රදර්ශනය පැවැත්වෙනවා යැයි කීය.

මෙම ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට අමාත්‍යවරුන් වන පී. හැරිසන්, චන්ද්‍රානි බණ්ඩාර, මලික් සමරවික්‍රම, කබීර් හෂීම්, මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න, ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග, මහා භාණ්ඩාගාරයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ලේකම් ඒ. ආර්. දේශප්‍රිය, ප්‍රියංග අතපත්තු, ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් දර්ශන සේනානායක, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්. එම්. වන්නිනායක යන මහත්ම මහත්මීහු ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික අංශ ආයතනවල ප්‍රධානීහු ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *